සුවසැරිය ගිලන් රථ අබලන් වෙයි – පඩිය අඩු නිසා සේවකයනුත් නැති වෙයි

සුවසැරිය ගිලන් රථ සේවාවේ පුරප්පාඩු හාරසියයක් සඳහා ලැබී ඇති අයැදුම්පත් හත්සියයක් (700) පරීක්ෂා කර සුදුස්සන් තෝරාගත්තද සේවයට පැමිණ ඇත්තේ පනහක පමණ පිරිසක් බව සුවසැරිය පදනම පවසයි.

කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක අරුණට කීවේය.

සේවක සේවිකාවෙන්ට ගෙවනු ලබන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා බහුතර සේවකයන් රැකියාවෙන් ඉවත්ව විදෙස්ගත වී තිබේ.

එහි සේවය කරනු ලබන හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරියකුගේ වැටුප රුපියල් තිස්පන්දහසක් පමණ වන අතර පවතින ආර්ථිකය හමුවේ ඔවුන්ට එය ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය මත ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදෙස් ගතවී තිබේ.

රජයේ සේවකයන්ට ගෙවනු ලබන වැටුප්තලවලට අනුව මෙම කාර්යමණ්ඩලයටද වැටුප් ගෙවීමේ තත්ත්වය මත ඔවුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමේ ගැටලු පවතින බව එම පදනම සඳහන් කරයි.

පුරප්පාඩු පිරවීම සඳහා අයැදුම්පත් හත්සියයක් පරීක්ෂා කළ අතර සුදුස්සන් දෙසියක් තෝරාගෙන තිබේ.

අඩුවැටුප් හේතුවෙන් ඔවුන් මෙසේ රාජකාරි සඳහා නොපැමිණෙන බැවින් මෙම තත්ත්වය මත සුවසැරිය කාර්ය මණ්ඩලයට නවකයින් බඳවා ගැනීමද ගැටලුවක් වී ඇත.

කොවිඩ් කාල සීමාවේදි සුවසැරිය ගිලන්රථ භාවිත කිරීම නිසා මෙම රථ නොයෙකුත් විෂබිජ නාශක දියර දමා පිරිසිදු කිරීමට සිදුවූ බව එම පදනම පවසයි.

එසේම එම කාලසීමාවේදී නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති අතර මෙම රසායන දියර දැමීම නිසා ගිලන් රථ දිරාපත් වී තිබේ.

මේ වන විට සුවසැරිය ගිලන්රථ පනස් හයක් අබලන් තත්ත්වයේ පවතින බව සභාපති දුමින්ද්‍ර රත්නායක පැවසීය.

මෙම රථවල නඩත්තු කටයුතු සිදු කිරීමද අපහසු වී ඇත්තේද පවතින සේවක පුරප්පාඩු මත බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

තවද රෝගින්ගෙන් ලැබෙන පණිවිඩ සඳහා හදිසියේ ප්‍රතිචාර දැක්වීමේ විනාඩි දහයක දොළහක කාලසීමාවද මෙම සේවක හිඟය මත අභියෝගයකට ලක්ව ඇති බව සුවසැරිය ගිලන්රථ පදනම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *