බදු රහිත අපනයනයට බ්‍රිතාන්‍යයෙන් දෙන සහන තව සති පහකින් ලංකාවට

තීරු බදු රහිතව භාණ්ඩ අපනයන කිරීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබා දුන් සහනය සම්බන්ධයෙන් වූ තාක්ෂණික වාර්තාව (Technical report) සති 5ක් ඇතුළත ප්‍රසිද්ධ කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF ) වෙත දැනුම් දී තිබේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් ‘ඉරිදා මව්බිම’ට මේ බව පැවසුවේය.

අලුත් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයට යැවීමට හැකි භාණ්ඩ මොනවා ද? කොයිතරම් ප්‍රමාණයක් අපනයන කළ හැකි ද? යන්න මීට අදාළ තාක්ෂණික වාර්තාව (Technical report) ලැබීම අනුව තීරණය වනු ඇති බවත් ඔහු කීය.

ඇඟලුම් සහ සමස්ත අපනයනවලට එක්සත් රාජධානියෙන් ලංකාවට ලැබෙන සහනවල දිග පළල එම වාර්තාව අනුව කිව හැකි බව ඔහු සඳහන් කළේ ය.

මේ වනවිට පවතින වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ඇඟලුම් නිෂ්පාදන 50%ක් පමණ මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අපනයන කරන බවත් එය ගැටලුවක් බවත් ඔහු පැවසීය.

ඒ අනුව, ලබන 2026 වසරට අදාළ බ්‍රිතාන්‍ය වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ලැබෙන මෙම තීරු බදු සහනය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරු බදු පැනවීම් හමුවේ වාසි සහගත වනු ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසද මහ ලේකම්වරයා පැවසීය.

ව්‍යාපාර සහ වෙළඳාම සම්බන්ධයෙන් වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව එක්සත් රාජධානිය මෙම තීරු බදු රහිත භාණ්ඩ අපනයන දිරිගැන්වීම මෙරටට ලබා දී ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (developing countries trade scheme) යටතේ නයිජීරියාවට, ශ්‍රී ලංකාවට, පිලිපීනයට හා ආසියා, අප්‍රිකා රටවලට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත තීරුබදු නොමැතිව අපනයන කිරීමට ඉඩ දෙන බව ව්‍යාපාර සහ වෙළහෙළෙඳාම සම්බන්ධයෙන් වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා (ජූලි 10) ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් කර තිබේ.

එහිදී ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපාංග ආදී අපනයන භාණ්ඩවලට තීරු බදු නොමැතිව එක්සත් රාජධානිය වෙත යැවීමට හැකිය.

ඒ අනුව, බ්‍රිතාන්‍ය තීරු බදු සහනය සංවර්ධනය වෙමින් පවතින කර්මාන්තයේ තරග කරන වෙනත් රටවලටත් ලැබේද යන්න තීරණාත්මක බව මහලේකම්වරයා පැවසීය.

එම පදනම යටතේ වාසිය හිමිවීම තවත් රටවලට වුව ලබාදෙන්නේ ද නොදෙන්නේ ද යන්න බ්‍රිතාන්‍ය මේ දක්වා නිවේදනය කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *