සියයට 20ක් දක්වා ආනයනික තීරු බදු ගාස්තුව අඩුවීම පිළිබඳ තමන් ඉතාම සතුටට පත් වී සිටින බවත්, තමන් කුමණ දේශපාලන පක්ෂයක හිටියත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් තැබිය යුතු බව තමන්ගේ විශ්වාසය බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.
රටේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක වෙත මේ අවස්ථාවේ දී අදාල ගෞරවයෙන් කොටසක් යන නමුත් මේ අත්පත් කරගත්තේ පක්ෂ පාට දෙශපාලන භේද පසෙක තබා රටක් ලෙස සාමුහිකව එක් වූ පිරිසක් ලද සාමුහික ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් තමන් මෙය හුදු දේශපාලන ජයග්‍රහණයක් ලෙස දකිනවාට වඩා රටක් ලෙස අත් පත් කරගත් විශාල ජයග්‍රහණයක් ලෙස දැකීමට කැමති බව කීවේය.
“හැමදේම දේශපාලනය කරන්න අවශ්‍ය නෑ කියන මතයෙ මම හැමදාම ඉන්නේ. අපට මේ සාකච්චා කළ කණ්ඩායමට වඩා විශාල පිරිසක් මේ වෑයම වටේ හිටියා. මෙතනදි ලංකාවේ මේ ප්‍රශ්නය විසඳා ගන්න ඉදිරිපත් වුන පුද්ගලයින්ගේ පක්ෂ වෙන වෙනයි. විපක්ෂය කළ කාර්ය භාර්ය තිරය ඉදිරිපිට දකින්නෙ නෑ. දකින්න අවශ්‍යත් නෑ. රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා ස්වභාවිකම මේකේ යම් ක්‍රෙඩිට් එකක් ගන්නවා. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.”
“ ඒත් යම් යම් අවස්ථාවල රටවල්වලට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නවලදී දේශපාලනය පැත්තකට තියලා රට වෙනුවෙන් ඉදිරියට එන්න හැකි වෙන්න ඕන. නැතිනම් මේ දේශපාලනයෙන් වැඩක් නෑ.”
මන්ත්‍රීවරයා කීවේ අපට බංගලාදේශය, වියට්නාමය, ඉන්දියාව වැනි ඇමරිකානු ඇඟළුම් වෙළෙඳපලට නිශ්පාදන සපයන තරගකාරී සැපයුම් කරුවන් සමග සම තැනක හිඳමින් තරග කිරීමට හැකියාව ලැබීම ජයග්‍රහණයක් බවත් ඉන් විශාල ප්‍රශ්නයක් මගහැරී ගිය බවත් ය.
” දැන් අප මේ රටේ වටේට ගහලා තියන තාප්ප වෙනුවට මේ රටෙන් කලාපයට පාලම් බඳින්න අවශ්‍යයයි. දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 05 අයත් කලාපය තමයි ඊලඟ දශක දෙකේ දී සීඝ්‍රයෙන්ම සංවර්ධනයවන කලාපය. මේ කලාපයට අපට කොහොමද සම්බන්ධ වෙන්නෙ. අපේ සප්ලයි චේන් ගැටගහන්නේ කොහොමද?. අපට තියනවා අවස්ථාවක් ආර්ථික ගනුදෙනුව ශක්තිමත් කරලා ඒකෙන් වාසියක් ගන්නේ කොහොමද කියලා අප දැන්වත් තේරුම් අරන් ඉදිරියට සැලසුම් සැකසිය යුතුයි…” ආචාර්ය හර්ෂ කීවේය.