ගුරුවරුන්ට පාසල් ළමුන්ට ටියුෂන් දීම තහනම් කරන රැල්ල දකුණටත් එයි – දකුණෙත් නිතීය ගෙන එයි


දකුණු පළාතේ රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසු දරු දැරියන්ගෙන් මුදල් අය කර තම උපකාරක පංති වලට ගෙන්වා ගැනිම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට සූදානම් වනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ පැවසුවේ ඉදිරි දින කිහිපය තුල මෙම චක්‍රලේඛය නිකුත් කිරිමට කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ  ලේකම් රංජිත් යාපා වෙත උපදෙස් ලබා දුන් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

ඒ අනුව මෙම නව චක්‍රලේඛය දකුණු පළාතේ සියලුම රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට අදාල වනු ඇති.

එහි නියෝග කඩකරමින් කටයුතු කරන පළාත් සභා පාසල්වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුවම විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කරන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පැවසුවේ.

එමෙන්ම මෙම චක්‍රලේඛය  උල්ලංඝණය කරමින් කටයුතු කරන දකුණු පළාතේ ජාතික පාසල්වල ගුරුවරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දිමටයි තීරණය කර ඇත්තේ.

මෙම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරු සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සදහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය   පුළුල් කිරීමටද කටයුතු කර තිබෙනවා.

මෙම චක්‍රලේඛයේ ඇතුළත් ප්‍රධාන කරුණ වන්නේ තමන් උගන්වන පාසලේ  සිසුන් මුදල් ගෙවා තම උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කර තිබීමයි.

මීට පෙරද පළාත් දෙකක මෙම නීතිය ක්‍රියාත්මක වන බවත් මාස තුනක් පමණ අධ්‍යයනය කර  දකුණු පළාතේද එය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *