ප්‍රසම්පාදන ක්‍රියාවලියට නියමිත ලෙස සහභාගී වී ටෙන්ඩරය දිනාගත් සමාගමට හැර වෙනත් සමාගමකට ගල් අගුරු ටෙන්ඩරයක් ලබා දිය නොහැකි බව 2022 වසරේ දී එවකට බලශක්ති අමාත්‍යවරයා වූ කාන්චන විජේසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.
ඔහු එසේ ප්‍රකාශ කරන ලද්දේ, 2022 වසරේ දී, ගල් අගුරු ටෙන්ඩරයට ඉදිරිපත් වූ එක්තරා සමාගමක්, එම සමාගමට ගල් අගුරුටෙන්ඩරය නොලැබී යාමෙන් පසුව, ටෙන්ඩරය දමන මොහොතේ ඉදිරිපත් කරන ලද මිල ගණනට වඩා අඩකින් පමණ අඩු මිලකට ගල් අගුරු සැපයීමට තමන්ට හැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ ය.
එම සමාගම දෙවන වරට ඉදිරිපත් කර තිබුණු මිල ගණන්, ටෙන්ඩරය හිමි කරගත් සමාගම ඉදිරිපත් කර තිබු මිලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු අගයක් ගෙන තිබුණි.
කාන්චන විජේසේකර අමාත්‍යවරයා පවසා සිටියේ, සියල්ලට වඩා නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම වැදගත් බවයි.
කෙසේ වෙතත්, “රතු ඉර” ට සහභාගී වූ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, 2022 වසරේ දී දැරූ ස්ථාවරයට පයින් ගසා, එම අවුරුද්දට පසුව එළැඹි 2024 වසරේ දී, කාන්චන විජේසේකර හිටපු අමාත්‍යවරයා සිය ගජ මිතුරු සමාගමකට ගල් අගුරු ටෙන්ඩරයක් ලබා දී තිබුණු ආකාරය හෙළි කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හෙළිදරව්වට අනුව, 2024 වසරේ දී ගල් අගුරු ටෙන්ඩරය හිමිව තිබුණේ ඉන්දියානු සමාගමකටයි.
එම සමාගම, ගල් අගුරු සැපයීම සම්බන්ධයෙන් හොඳම සමාගම් දහය තුළ සිටින සමාගමක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
කෙසේ වෙතත්, අවසාන මොහොතේ දී ඉන්දියානු සමාගමට ටෙන්ඩරය ලබා නොදී, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නිසි ලෙස ඉදිරිපත් නොවූ, ඔවුන්ගේ (හිටපු අමාත්‍යවරයාගේ) ගජමිතුරන්ට අයත් සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය පිරිනැමීමට කාන්චන විජේසේකර හිටපු අමාත්‍යවරයා කටයුතු කළ බව රතු ඉරට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
කෙසේ වෙතත්, ගජමිතුරන්ට අයත් බව කියන එම සමාගම, ටෙන්ඩරය දිනූ ඉන්දීය සමාගම ඉදිරිපත් කර තිබුණු මිලට වඩා අඩු මිල ගණනක් පසුව ඉදිරිපත් කර තිබුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.