කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් තනතුරෙන් ඉවත්ව යා යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් පැවසීය.
නගරාධිපතිවරිය එසේ ඉවත් නොවන්නේ නම් බහුතර බලය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග ඉදිරියට කටයුතු කරගෙන යායුතු අතර ඇය දැන් නාමික නාගරාධිපතිවරියක් බවට පත්ව ඇති බවත් මුජිබුර් රහුමාන් පෙන්වා දුන්නේ ය.
ඔහු විමසුවේ, මීට පෙර නගරාධිපතිවරිය තෝරන ඡන්දයේදී ඇය අද පවසන හෘද සාක්ෂිය තිබුණේ කොහෙ ද යන්න ය.
විශේෂයෙන් ම ජනාධිපතිවරයා මීට දින දෙකකට පෙර නගර සභා මන්ත්‍රිවරුන් ගෙන්වා බිරියානි කවා ඔවුන්ට ඡන්දය දෙන ලෙස බලපෑම් කළ ද මන්ත්‍රිවරුන් මේ මාස හයට තේරුම් ගෙන ඇත්තේ, ඔවුන් සමග කිසිම ගමනක් යා නොහැකි බව ත් ඊට පිළිතුරු ලෙස අය-වැයේදී මන්ත්‍රිවරයන් සැබෑ හෘදසාක්ෂිය භාවිතා කර ඇති බව ත් ය.
ජාතික ජන බලවේගයේ නගරාධිපතිවරියක් තෝරාගත් නමුත් පසුගිය මාස හයට කොළඹ කිසිදු යටිතල පහසුකමක් සංවර්ධනය කිරීමක් හෝ කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැති අතර යටිතල පහසුකම් තිබුණාට වඩා අක්‍රමවත් වී ඇති බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු පැවසුවේ, පසුගිය වසරේ කොළඹ නගර සභාවට නගරාධිපති තෝරන අවස්ථාවේ පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන්වා බලහත්කාරයෙන් රහස් ඡන්දයක් පවත්වා ගැසූ ගැටය මාස හයක් වත් ඔවුන්ට අල්ලාගෙන සිටීමට නොහැකි වූ බව ය.
ඒ අනුව, කවුරුත් තේරුම් ගත යුත්තේ මන්ත්‍රිවරුන් බලහත්කාරයෙන් මිලට ගෙන හෝ බලපෑම් කර තබා ගැනීම දිගු කාලයක් කළ නොහැකි බව යැයි ද මන්ත්‍රිවරයා වැඩිදුරට ත් කීය.