කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹෙයි

රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (2026.04.09) නිල වශයෙන් ආරම්භ විය….!

ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මෙහි සමාරම්භය සිදුවිය….!

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ…..!

මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතය. එම සේවා ගොඩනැගිල්ල තුල නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක්, තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතානවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වේ….!

දුම්රිය ස්ථානයේ අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය විදුලි සෝපාන සහ ස්වයංක්‍රීය තරප්පු පෙළ සහිතව නිර්මාණය කරන අතර, සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශවිය හැකි පරිදි එම ගුවන් පාලම ඉදිකෙරේ. එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි සැළසුම් සහගතව ඉදිකෙරෙන අතර මෙම ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණය සහිත e – gate පහසුකම ද මගී ජනතාව වෙනුවෙන් ලබාදීම ඇතුලත්වේ…!

මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය මාස 15 ක කාලයක් ඇතුලත නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162 කි. එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර, ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදාගැනෙනු ඇත…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *