විහාරාධිපති හිමි 11 හැවිරිදි සාමණේර දෙනමකට බරපතල ලිංගික අතවර කර සිවුරු ගලවයි

විහාරාධිපති හිමියන් විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජන සිදු කර සිවුරු ගලවා එලවා දමා ඇතැයි කියන සාමණේර හිමිවරුන් දෙනමක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 08 ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි කෑගල්ල පොලිස් වසමේ මොළ – ගොඩ ප්‍රදේශයේ උපන් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනමකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සාමණේර හිමිවරුන් දෙනම ගෙන් එක් නමකගේ මවුපියන් ඉතා අන්ත අසරණ බවත් මව කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් පොලිසිය පැවසීය.

සාමණේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී ඇති බවත් විවාහ වූ තරුණායාගේ 11 හැවිරිදි ස‌හෝදරයා සමඟ මීට වසරකට පමණ ඉහතදී කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී දෙදෙනා සසුන් ගත කර ඇති බවත් පොලිසිය පැවසීය.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන තරුණ හිමිනමක් ඉකුත් දින කිහිපය තුළ දී බරපතළ ලිංගික අපයෝජනයක් සාමණේර හිමිවරුන් දෙනමට සිදු කර ඇති බවත්, පසුව හිමිවරු දෙනම ඉවසා දරා ගත නොහැකි තැන අසල නිවසකට ගොස් දුරකතනයෙන් මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව පියා කුලියාපිටිය විහා- රස්ථානයට ගොස් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනා ආපසු නිවෙසට රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සැකකාර තරුණ හිමිනම සාමණේර හිමිවරුන් දෙනමගේ සිවුරු ගලවා දමා පහර දීමක් සිදු කර තිබේ.

පසුව පියා 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනම රැගෙන කෑගල්ලට පැමිණ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. සාමණේර හිමිවරුන් දෙනමට බරපතළ ලිංගික අපයෝජන සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය හිමිවරුන් දෙනමගේ ප්‍රකාශ ගෙන කුලියාපිටිය පොලිසියට භාර දෙන ලද බව කෑගල්ල පොලිසිය පැවසීය.

චමින්ද ජයලත්
ගාමිණී රම්‍යපාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *