ඉන්දියාවේ යවා කෝටියක් වැයකර සිදුකරන ඇටමිදුලු බද්ධ සැත්කම් පහසුකම මේ වසරේ මහනුවර ජාතික රෝහලට

තැලසීමියා රෝගීන් සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙම වසරේදී මහනුවර ජාතික රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි   පවසයි.

මෙම සැත්කම ඉන්දියාවේදී සිදුකිරීමට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කරන්නට සිදුවන බවත් මහනුවර ආරම්භ කරන ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සඳහා අවශ්‍යය මුදල් වෙන්කර අවසන් බවත්  ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ වැඩ කිරීම සඳහා යොදවන කාර්ය මණ්ඩලය ඉන්දියාවට යවා විශේෂ පුහුණුවක් ලබා දීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කළේය.

මහනුවර ජාතික රෝහලේ දැනට පවතින එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ යන්ත්‍ර දෙකෙන් එකක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පසුවන බවත් මෙම වසර අවසාන වීමට පෙර තවත් අලුතින් එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 03 ක් ලබා දීමට පියවර ගන්නා බවත්  කී නියෝජ්‍ය ඇමතිවරයා  එම යන්ත්‍ර ලැබීමත් සමඟ මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා දැනට තිබෙන පොරොත්තු ලේඛණය අඩුකර ගැනීමට හැකිවනු ඇතැයිද පැවසුවේය.

මහනුවර පිළිකා රෝහලේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා ඉදිරි වසර තුනක කාලයේදී මිලියන 2000 ක මුදලක් වැය කරන බවත් ඒ සඳහා අවශ්‍යය උපකරණ මිලට ගැනීමට තවත් රුපියල් මිලියන 1500 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *