ශ්‍රී ලංකාවේ සිදුවු විශාලතම වංචාව වන ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා යටපත් වන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග කිහිපයක්ම සිදුවන්නේ ගල්ෆ් කලාපය හරහායි. ඒ වගේම ඇමරිකාව, ඊශ්‍රාලය සහ ඉරානය අතර ඇති වී තිබෙන යුදමය වතාවරණය තීව්‍ර වුණොත් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව වැනි රටවලට දරුණු බලපෑමක් එල්ල වෙනවා. මේ වනවිටත් ශ්‍රී ලංකාව දැනී තිබෙනවා. මෙම යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, නිෂ්පාදනවලට, ආදායම්වලට බලපානු ලබනවා. ඒ වගේම ගල්ෆ් කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දහස් ගණනක් සේවය කරනු ලබනවා. මෙම පිරිසගේ සේවා සුරක්ෂිතභාවය පිළිබඳව අවදානමක් තිබෙනවා. ඒ වගේම ගල්ෆ් කලාපයේ ශ්‍රමිකයන්ගෙන් විදේශ ප්‍රේශන ලෙස ඩොලර් මිලියන 5 ත් 7ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙමින් තිබුණා. ඒ සඳහාත් විශාල බලපෑමක් මෙම යුද්ධය නිසා සිදුවෙනවා.
ඒ වගේම තෙල් සහ ගෑස් මිල වැඩිවීම හරහා ඇති වන උච්චාවචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන්න හැකියාව තිබෙනවාදැයි ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. කෙසේ නමුත් මේ වනවිට ඉන්ධන මිල වැඩි කර තිබෙන අතර විදුලි මිලත් වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. ආණ්ඩුවේ දූෂණ සහ වංචා යටපත් කරගැනීමට ඉන්ධන මිල සහ විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඉරානයට සියයට 25 ක් පමණ තේ අපනයනය කරනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැද පෙරදිග රටවලට අපනයනය කරනු ලබනවා. ඒ අපනයන ආදායමට කුමක්ද සිදුවන්නේ යන ප්‍රශ්නය මතුවෙනවා. ඒ අනුව ආණ්ඩුව මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතු වෙනවා. යුදමය වතාවරණය රටේ ආර්ථිකයට සෘජු ලෙසම බලපාන කරුණක් වගේම ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ටත් මෙම යුධමය වතාවරණය හරහා සෘජුවම බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ උද්ධමයටත් මෙම ප්‍රශ්නය බලපානු ලබනවා. ඒ නිසා මෙම අර්බුදය කළමනාකරණය ගැනීමට ආණ්ඩුව වහාම පියවරක් ගත යුතුයි.
මෙම ප්‍රශ්නය හේතුවෙන් ලංකාවේ සිදුවුණ විශාලතම වංචාව යටපත් වෙමින් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහා මේ වනවිට රටට විශාල පාඩුවක් සිදුවී තිබෙනවා. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු රටට ආනයනය කළ බව ආණ්ඩුවේම ඇමැතිවරු දෙදෙනෙක් පිළිගෙන තිබෙනවා. නමුත් ගල් අඟුරු ගෙන්වීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු වංචාවක් දූෂණයක් සිදුවී නැති බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහාම වංචාවක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට ගෙනා ගල් අඟුරු නැව් 10යේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තිබුණ බවට වාර්තා වෙලා තිබෙනවා. මේ සඳහා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සෘජුව වගකිව යුතුයි.