තුෂාරා සිසුවිය පොල් වගාවට හානි කරන සුදු මැස්සා මර්දනයට කුඩ උගුලක් හදයි

NW032 1 Iri News

සුදු මැස්සා අලුයම් කාලයේදී වඩාත් සක්‍රීයයි

කීටයන් – සුහුඹුලන් පොල්කොළය විද සාරය උරා බොනවා

ළාබාල සිසුවියක සොයාගත් සාර්ථක ක්‍රමයක් අවසානයේ ජාතික මට්ටමේ සම්මානයට

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් ගණනාවකම පොල් වගාවට හානි කරන සුදු මැස්සා නමින් හඳුන්වන කෘමි සතා මර්දනය කිරීමට ක්ෂේත්‍රයේ උගත් විද්‍යාඥයන් පවා නිශ්චිත ක්‍රමවේදයක් හඳුනාගෙන නැති අවස්ථාවක කුරුණෑගල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඒ සඳහා සාර්ථක ක්‍රමවේදයක් මේ වනවිට සොයාගෙන ඇත. ඇය විසින් සොයාගත් මේ නව නිර්මාණය සඳහා 2023 වසරේ සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් වූවාය.කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී.එම්.තුෂාරා සෙව්වන්දි බස්නායක සිසුවිය විසින් ඉදිරිපත් කළÓ සුදු මැස්සා මර්දනය සඳහා යොදා ගන්නා උගුල Ò නමින් හැඳින්වුණු නව නිර්මාණය සඳහා එම ජයග්‍රහණය හිමි විය.

සුදු මැස්සා නම් වූ මේ ආක්‍රමණික කෘමි සතාගේ හානිය කොතරම් බරපතළදැයි කිවහොත් මේ වනවිට පොල් ත්‍රිකෝණයේ පමණක් නොව සමස්ත දිවයිනේම පොල් වගාව මහා පරිමාණයෙන් විනාශයට ලක්වෙමින් පවතින අයුරු දැකගත හැකිය. විශේෂයෙන්ම තැඹිලි වගාවට මේ කෘමි සතාගෙන් එල්ල වී ඇති හානිය ඉතා දරුණු මට්ටමක පවතී. ඉන් ඔබ්බට පොල් ගසට මෙන්ම පලතුරු ඇතුළු තවත් වගා රැසකටම මේ කෘමි සතා මේ වෙද්දී හානි කර අවසන්ය. මේ බරපතළ හානිය හේතුවෙන් පොල් ඵලදාව ශීඝ්‍රයෙන් අඩුවී වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100කින් ඉහළට ගොස් තිබේ. මේ සතාගේ හානිය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් හොඳින් ඵලදාව දුන් පොල් වගා අක්කර දහස් ගණනින් මේ වනවිට විනාශයට ලක්ව හැදෙමින් තිබෙන පොල් පැළ පවා යුෂ උරාබී විනාශයට පත් කරමින් තිබෙන බව පොල් වගාකරුවෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ආදායමක් උපයන භෝගයක් ලෙස සැලකෙන පොල් වගාව කෘමි සතෙකු නිසා වැනසී ගොස් අනාගතයේදී මෙරටට ලැබෙන විශාල අපනයන ආදායමක් පවා අහිමිව යන තෙක් පොල් වගාවට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවකම බලධාරීන් ඇස් කන් පියාගෙන නිහඬව සිටින බව ද පොල් වගාකරුවෝ චෝදනා කරති.

සුදු මැස්සා යනු හෙමිප්ටෙරා (Hemiptera) ගෝත්‍රයට අයත් සුදු පැහැති කෘමියෙකි. ගැහැණු සතුන් විසින් පොල් ගසේ අත්තේ ⁣කොළවල යටි පැත්තේ දමන බිජුවලින් එළියට එන කීටයන් මෙන්ම සුහුඹුලන්ද පොල් කොළය විද එහි ඇති ප්ලෝමියම් සාරය උරා බොති. ඉන්පසුව කොළය කහ පාටට හැරී ඵල නොදරමින් ගස ක්‍රම ක්‍රමයෙන් මැරී යෑමට පටන් ගනී.

සුදු මැස්සා කහ පැහැති පෘෂ්ඨවලට වඩා ආකර්ෂණය වන හේතුවෙන් තැඹිලි ගසට සිදු වන හානිය වඩාත් තීව්‍ර වී තිබේ. එසේම පොල් ගසෙන් වහනය වන ආවේණික සුවඳට ද මේ සතා ආකර්ෂණයක් දක්වයි. මේ සතාගේ ක්‍රියාකාරිත්වය අලුයම් කාලයේදී වඩාත් සක්‍රීය වන බැවින් එම කාලයේදී ගසට සිදුවන හානිය ඉහළ යයි.

මේ සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දුන් කඳ වටා ග්‍රීස් තැවරූ කහ පැහැති පොලිතීන් කොළයක් එතීම මේ වන විට සාර්ථක මර්දන ක්‍රමයක් නොවන බව අනාවරණය වී තිබෙන අතර කඳේ ග්‍රීස් තැවරීම ගස් නඟින්නන්ටද ගැටලුවක් වී තිබේ.

සතාගෙන් සිදුවන හානිය මැඩීමට මේ වනවිට පොල් සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී තිබෙන ක්‍රමවේදය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් දැඩි ලෙසචෝදනා එල්ල කරන අවස්ථාවක උගතුන් විද්‍යාඥයන් පවා පරදවමින් ළාබාල පාසල් සිසුවියක් සොයාගත් සාර්ථක ක්‍රමවේදයක් අවසානයේදී ජාතික මට්ටමෙන් සම්මානයට පාත්‍රවීම ද විශේෂත්වයකි.

තුෂාරා සෙව්වන්දිට සුදු මැස්සාගේ හානිය පිළිබඳව අදහසක් සිතේ ජනිතව තිබුණේ ඔවුන් පදිංචි කුරුණෑගල බමුණුගෙදර නිවසේ ගෙවත්තේ ඇති පොල් ගස් කීපයට සහ ප්‍රදේශයේ ඇති පොල් ගස්වලට සිදු වෙමින් පවතින හානිය දිනපතාම දුටු විටය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කෘමි හානිය උග්‍රව තිබෙන බවට තොරතුරු දැනගත් ඇය පොතපත කියවීමෙන්ද තම පාසලේ විද්‍යා ගුරුවරුන්ගෙන් අසා දැනගත් දැනුමෙන් මෙන්ම අන්තර්ජාලය පරිහරණය කරමින් ලබා ගත් දැනුමෙන්ද අධ්‍යයනයක් කර සුදු මැස්සාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාගෙන ඇත. ඊටත් වඩා දැනුමක් සහ මඟ පෙන්වීමක් ඇයට තම පියාගෙන් ලැබී තිබුණේ ඔහු නව නිර්මාණ 12කටත් වඩා වැඩි සංඛ්‍යාවක් එළි දක්වා තිබෙන නව නිර්මාණකරුවකු වූ නිසාමය. ඇගේ පියා වන වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා පෞද්ගලික විද්‍යා ගුරුවරයකු ද වන සිසිර බස්නායක මහතා වසර කීපයකට ඉහත දී නිර්මාණය කරන ලද ඩෙංගු මදුරු මර්දන උගුල රටේ අතිශයින්ම ප්‍රසිද්ධියට පත් විය.

මාස හයකට ආසන්න කාලයක් සුදු මැස්සා සම්බන්ධයෙන් අඛණ්ඩව අධ්‍යයනයක යෙදුණු තුෂාරා මේ සියලු තොරතුරු ඒකරාශි කරගෙන සතා මර්දනය සඳහා අවශ්‍ය උගුල නිර්මාණය කර ඇත. ඒ සඳහා මොඩලයක් ලෙස මැස්සා ආකර්ෂණය වන කහ පාටැති කුඩයක් ගෙන රාත්‍රියේ ඊට ආලෝකය ලබා දීමට හිරු එළියෙන් ක්‍රියාත්මක විදුලි පහන් දෙකක් සවිකර ආකර්ෂණය වන සතුන් අල්ලා ගැනීම සඳහා ඇලෙන සුළු ගම් වර්ගයක් සහිත ස්ටිකර් කීපයකින්ද යුක්තව නිර්මාණය කර තිබේ. මේ උගුලට සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තුෂාරා විසින්ම තම පාසලේ විද්‍යාගාරයේදී පරීක්ෂණ සිදු කර අත්හදා බැලීම් සාර්ථක වූ සුවඳ කාරකයක් යොදා ගැනීම ද විශේෂත්වයකි. පොල් ගස් කීපයක්ම ආශ්‍රිතව මේ කුඩ උගුල සවිකර තැබීමෙන් සුදු මැස්සා පහසුවෙන් මර්දනය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

ඇයගේ මේ නිර්මාණය සුදු මැස්සා මර්දනය සඳහා අතිසාර්ථක උගුලක් සේම මුළු රටේම ආර්ථිකයට බලපාන බරපතළ ප්‍රශ්නයකට විසඳුමක් ලබා දීමට සමත් සාර්ථක පිළියමක් බව පැහැදිලි වීම හේතුවෙන්ම ඇයට මේ වසරේ විශිෂ්ටතම නව නිර්මාණය සඳහා වන සම්මානය පිරිනමා ඇත.

මේ බව දැනගත් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹට කීර්තියක් අත්කර දුන් මේ ළාබාල නිර්මාණකාරිය කැඳවා ඇයට ප්‍රශංසා කරමින් අගය කළේය. මේ නිර්මාණය තවදුරටත් දියුණු කිරීමෙන් පසුව ඊට අවශ්‍ය පේටන්ට් බලපත්‍රය ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට ද ආණ්ඩුකාරවරයා මෙහිදී පොරොන්දු විය.

මෙයින් ලබාගත් ධෛර්යයෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු කරන අතරේම ඉදිරියට තවත් නව නිර්මාණ බිහි කිරීම තමන්ගේ එකම ආසාව බව ද තුෂාරා අප සමඟ පැවසුවාය.

මේ සඳහා නිරන්තරයෙන් විශාල සහායක් දුන් තම මවුපියන්ට මෙන්ම ආරක්ෂක සේවා විදුහලේ විදුහල්පති ආර්.ඒ.රත්නායක, පාසලේ විද්‍යා ගුරුවරුන් වන චමින්ද රාජපක්ෂ, අරුණි පියගමගේ, නිසංසලා රත්නායක මහත්ම මහත්මීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව ද තුෂාරා සිසුවිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *