අමු මිරිස් කරල අද රුපියල් 20 දක්වා ඉහළ යයි

සිල්ලර වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1900ත් 2200ත් අතර ඉහළ මිලකට ඊයේ (31) අලෙවි විය. ඒ අනුව අමු මිරිස් කරලක් රුපියල් 15ත් 20ත් අතර මිලක පවතින බව පාරිභෝගිකයෝ පැවසූහ.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලට සැපයෙන එළවළු තොග ප්‍රමාණය වෙනදාට සාපේක්ෂව සියයට හැත්තෑ පහකින් (75%)කින් පමණ අඩු වූ බව තොග වෙළෙන්දෝ සඳහන් කළහ.

මේ දිනවල පවතින මහ වැසි හේතුවෙන් එළවළු වගාවන් විනාශ වී ඇති බවත් අස්වනු සියයට අනූවකින් (90%)කින් පමණ හානියට පත්ව ඇති බවත් ​ගොවීහු කීවෝය.

ඒ අනුව ඊයේ (31 වැනිදා) දිවයින පුරා ප්‍රධාන නගරවල සිල්ලර වෙළෙඳපොළේ එළවළු වර්ග කිපයකම කිලෝග්‍රෑමයක් රුපියල් 300 ඉක්මවා අලෙවි කෙරිණි. ඒ බෝංචි රුපියල් 750, ගෝවා රුපියල් 550, කැරට් රුපියල් 900, තක්කාලි රුපියල් 600, බීට් රූට් (පහතරට) රුපියල් 800, නෝකෝල් රුපියල් 450, වැටකොළු රුපියල් 350, වම්බටු රුපියල් 650, මාළු මිරිස් රුපියල් 800 සහ දෙහි රුපියල් 450 වශයෙනි.

උඩරට, පහතරට, යාපනය හා වයඹ කලාපවලින් එළවළු තොග සැපයුම සියයට පහළොවත් – විසිපහත් අතර ප්‍රමාණයකට සීමා වූ බව තොග වෙළෙන්දෝසඳහන් කළහ.

නුවරඑළිය, යාපනය හා වැලිමඩ කලාපවලින් අර්තාපල් ලැබී නොතිබුණු අතර එළවළු වර්ග කිහිපයක්ද නොලැබිණි. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 130ක්වූ අතර ආනයනික රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450ක් සහ ලංකා රතු ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 400ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *