සුනාමි අනතුරක් යළිත් සිදුවේ නම් ඒ පිළිබඳව ජනතාවට කල් ඇතිව සංඥාවක් දීම සඳහා මුහුදු බඩ ප්‍රදේශවල ඉදි කර ඇති සුනාමි කුලුනු 77න් 57ක් මේ වන විට අක්‍රීය වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
සුනාමියෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ සුනාමි කුලුනු 2ක්, ගම්පහ දිස්ත්‍රික්‍කයේ කුලුනු 5ක්, කලුතර දිස්ත්‍රික්කයේ කුලුනු 6ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ කුලුනු 8ක්, මාතර දිස්ත්‍රික්කයේ කුලුනු 7ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුලුනු 9ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ කුලුනු 4ක්, අම්පාර දිස්ත්‍රික්කයේ කුලුනු 8ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ කුලුනු 7ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුලුනු 7ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ කුලුනු 3ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ කුලුනු 6ක්, යාපනය දිස්ත්‍රික්කයේ කුලුනු 5ක් ලෙස මේ කුලුනු ඉදි කර ඇත.
මේ කුලුනුවලින් 11කට ආසන්න ප්‍රමාණයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කළ හැකි පරිදි දැනට සක්‍රියව පවතින අතර කුලුනු පිහිටි ස්ථානයට ගොස් තවත් කුලුනු 9ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පවති. කෙසේවත් ක්‍රියාත්මක කළ නොහැකි කුළුණු සංඛ්‍යාව 57කට ආසන්නය.
මේ සඳහා තාක්ෂණය ලබාදී ඇත්තේ ඇමරිකන් සිග්නල් කෝපරේෂන් (American Signal Corporation) ආයතනය මගිනි. දිස්ත්‍රික් මට්ටමින් යුධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් එම කුළුණු බාරව කටයුතු කරනු ලැබු අතර ආපදා කළමනාකරණ ඒකක විසින් අධීක්ෂණය කරනු ලබයි.
ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදි කුළුණු අලුත් වැඩියා කිරිමට පියවර ගෙන තිබුනත් මේ වනවිට කුළුණුවල තාක්ෂණය කල්පැන ඇති බව මේ සම්බන්ධයෙන් තොරතුරු පණතින් ලබාගත් තොරතුරු අනුව තහවුරු වෙයි.
මෙහි තාක්ෂණය ලබාදි ඇති ඇමරිකන් සිග්නල් කෝපරේෂන් ආයතනයද එම නිෂ්පාදන මේ වනවිට අත් හිටුවා ඇත. කෙසේ වෙතත් මුහුද ආශ්‍රිතව මෙම කුළුණු ඉදිකර ඇති නිසා ඒවා බොහොමයක්ම මල බැඳි කොටස් දිරාපත්ව ඇත.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක නොවන සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු අවශ්‍ය වුව හොත් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාර දී ඇති බවයි. එම සම්බන්ධීකරණ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සිදු කරන බවත් හෙතෙම කීවේය. එම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සඳහා චන්ද්‍රිකා තාක්ෂය ලබාගත නොහැකි වන්නේ අදාළ චන්ද්‍රිකාව මේ වන විට භාවිතයෙන් ඉවත් කර ඇති බවද සඳහන් කළ එම නිලධාරියා නවීන සංනිවේදන ක්‍රමෝපායන් මගින් සුනාමි අනතුරු ඇඟවීම් වේගයෙන් සිදු කළ හැකි බවද සඳහන් කළේය.