දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන නැවත ගොඩනැඟීමේ අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක මුදලක් පරිත්‍යාග කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික කටයුතුවල නිරත ශ්‍රී ලංකික ව්‍යාපාරික ආයතනයක් පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ප්‍රතිරෝධය ශක්තිමත් කිරීම සඳහා වන ජාතික උත්සාහයට සහාය වීම සඳහා, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මඟින් “ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ” අරමුදලට මේ මුදල් පරිත්‍යාගය සිදුකර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලමින්, ආර්ථික ප්‍රකෘතිය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් රජයේ මුලපිරීම්වලට සහාය වීම සඳහා ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාගේ අඛණ්ඩ කැපවීම මේ දායකත්වයෙන් පිළිබිඹු කර තිබේ.
මේ පරිත්‍යාගය ට්‍රයිස්ටාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි යූජින් මේන්ගේ සහාය ඇතිව සිදුකර තිබෙන අතර එය සම්බන්ධීකරණය කරන ලද්දේ ට්‍රයිස්ටාර් සමූහයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වන අරුණ වීරසිංහ බව ද විදේශ අමාත්‍යාංශය කියයි.