එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි, සුදුසු වෙලාවේ පක්ෂ දෙක එක් වෙයි – සජබ මහ ලේකම් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගමන් කරන අතර සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතුවීම සිදුවන බවත් පක්ෂ දෙක එක්වී සන්ධානයක් ලෙස කටයුතු කිරීමට හැකි බවත් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහ ලේකම්වරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකතු විය යුතුයි යන මතයේ එජාප පාක්ෂිකයන් සහ සජබ පාක්ෂිකයන් සිටිනවා. ඒ සඳහා වන සාකච්ඡාවල වගකීම සජිත් ප්‍රේමදාස මහතා ගෙන තිබෙනවා. ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරන අතර එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතුවීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතුවෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුළුවන්.

වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණත භාවයටත් වටිනාකමක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම එකතු වෙනවා. පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීමට හැකි වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *