ලංකා නාවික හමුදාවට ඇමෙරිකාවෙන් නෞකාවක් පරිත්‍යාග කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘ඩිසීසිව්’ නෞකාව මෙරටට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාට නිල වශයෙන් බාරදීම එරට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්පත් කරගැනීමේ නියෝජ්‍ය ප්‍රධානී ජේම්ස් එල්. නයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්  ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා  අංගනයේදී එම නෞකාව ඉකුත් (2) දා  බාරදීම සිදු විය.

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 628 ධජ අංකය යටතේ ඉකුත් (2) දා සිට එම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලැබීය.

සාගර කලාපයේ පොදු අභියෝග ජය ගැනීමත් දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් මෙම නෞකාව ලංකාව වෙත බාරදීම සිදුකෙරිණි.

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් මිට පෙර නාවික නෞකා ‘සමුදුර’ (පි 621), ‘ගජබාහු’ (පි 626) සහ ‘විජයබාහු’ (පී 627) යන නෞකා ලබාදී ඇත.

මෙම නෞකාව දිගින් මිටර 64 ක්ද, එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් යුක්තිය. නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත මෙම නෞකාව මගින්  ඇමෙරිකාවේ මුහුදු කළාපයේ සිදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති නෞකාවක් බවද පැවැසේ.

මෙම අවස්ථාවට දකුණු සහ අගිනිදිග ආසියාව සදහා වූ නියෝජ්‍ය සහකාර යුද ලේකම් ආචාර්ය ඇන්ඩෘ බයර්ස්, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, පී 628 නෞකාවේ නම්කළ අණදෙන නිලධාරී,  කපිතාන් ගයාන් වික්‍රමසුරිය, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

image eb0dd9415f Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *