බර අඩු කර ගන්න දිනකට පැය 16ක් ආහාර නොගෙන සිටීම හෘද රෝගවලින් මිය යෑමේ අවදානම 91%කටත් වඩා වැඩි කරන බව අමෙරිකානු විද්‍යාත්මක පර්යේෂණයකදී හෙළිව තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
බර අඩු කරන්න බොහෝ දෙනා විවිධ ආකාරයේ බෙහෙත් වර්ග සහ උපක්‍රම මෙන්ම ආහාර සීමා කිරීම් සිදු කරන බවත් මේ අතරින් පැය 16ක් නිරාහාරව සිටීම ශ්‍රී ලංකාවේ මෑතකදී බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රමවේදයක් බවත් ඒ මහතා කීය.
ඉතිරි පැය අටේදී පමණක් ආහාර ගැනීම Intermittent fasting නම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවත් බොහෝ කාලයක් බටහිර රටවල අනුගමනය කරන ලද්දක් බවත් කෙටි කාලීනව මේ ක්‍රමවේදය ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලැබුණ ද දිගු කාලීන ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් අධ්‍යයනයක් කර නොතිබූ බවත් නීති වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
පසුගිය වසරේ මාර්තු මස චිකාගෝ නගරයේ දී පැවති අමෙරිකානු හෘද රෝග සංගමයේ (American Heart Association) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබූ බවත් මෙහිදී ප්‍රකාශයට පත් කරන ලද කරුණු අනුව පැය 16ක් නිරාහාරව සිටීමේ ක්‍රමවේදය අනුගමනය කරන සියලු දෙනා හෘද රෝගවලට ගොදුරුවීමේ වැඩි ඉඩක් තිබෙන බව අනාවරණය වී තිබෙන බවත් සුබසිංහ මහතා කීය. පරීක්ෂණයට විවිධ ජනවර්ගවලට අයත් අවුරුදු 20ට වැඩි පුද්ගලයන් 20000ක පිරිසක් යොදා ගනිමින් 2003 සිට 2018 දක්වා ඔවුන් නිරීක්ෂණයට ලක් කර තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
හෘද රෝග ඇති පුද්ගලයන් දිනකට පැය 16 සිට 14 දක්වා කාලයක් ආහාර වර්ජිතව සිටින්නේ නම් හෘද රෝගයකින් හෝ මොළයට රුධිර සැපයීම අවහිරවීමෙන් මරණයට පත්වීමේ අවදානම 66% දක්වා ඉහළ යන බවත් මේ පර්යේෂණයේදී අනාවරණය වී තිබෙන බවත් මේ අයුරින් ආහාර වර්ජනය කිරීම මඟින් කිසිදු රෝගයකින් මිය යෑමේ හැකියාව අඩු කරන්නේ නැති බවත් ඒ මහතා කීය.
පැය 16ක කාලයක් තුළ විටින් විට ආහාර ගන්නේ නම් පිළිකා රෝගීන් මියයාමේ අවදානම අඩුවන බව ද මේ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන බවත් සුබසිංහ මහතා පැවසීය. බොහෝ වේලාවක් මේ අයුරින් නිරාහාරව සිටීම මඟින් සිරුර ඇතුළත පරිවෘතීයීය ආතතියක් (Metabolic stress) ඇතිවන බවත් එහිදී රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය අඩුවන අතර කෝටිසෝල් හෝමෝනය වැඩිවන බවත් පරීක්ෂණය මගින් හෙළිකර ඇතැයි නීති වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
අදාළ පරීක්ෂණයේ සාරාංශය හැර විස්තරාත්මක තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නැති බවත් එය පිළිගැනීමට ප්‍රසිද්ධ කර විද්‍යාත්මක සඟරාවල පළ කළ යුතුව ඇති බවත් ඒ මහතා කීය.