අමෙරිකන් ජාතිකයකු වූත්, වෘත්තියෙන් ඉංජිනේරුවකු වූත් අයෙක් බුදු දහම වැලඳ සසුන්ගත වූ පුවතක් කරන්දෙණිය ගලගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රකට දානපති ඉංජිනේරුවකු වන ජොහාන් ලූඩොස් මහතා කරන්දෙණිය මහගොඩ ශෛලතලාරාමයේදී මෙසේ සසුන්ගතව ඇත. ඔහු සසුන්ගත වූයේ ගලගොඩ ශෛලතලාරාම විහාරාධිපති පූජ්‍ය කුඩුමිරියේ සෝමිස්සර හිමියන්ගේ අවවාද අනුශාසනා මත විහාරාධිපති හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් ලෙසය.
පැවිදි වූ හිමියන් කැලිෆෝනියාවේ සරණ නමින් මෙලෙස සසුන් දිවියට එක් වූහ.
බෞද්ධ දර්ශනය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ හැදෑරීමෙන් ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ වු බැවින් මෙසේ සසුන් ගත වීමට තීරණය කළ බවත් ඒ සඳහා තමා ලංකාවට පැමිණ මෙසේ පැවිදි දිවියට පත් වූ බව කැලිෆෝනියාවේ සරණ හිමියෝ පැවසූහ. පැවිදි ජීවිතයට පත් සරණ හිමියන් ගිහි ජීවිතයේදී වෘත්තීය ඉංජිනේරුවකු ලෙස හා ව්‍යාපාරිකයකු ලෙස අමෙරිකාවේදී දහස් ගණන් මිල මුදල් උපයමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ද බෞද්ධ දර්ශනය හැදෑරීමෙන් පසුව මනුෂ්‍ය ජීවිතය පිළිබඳව යථා අවබෝධය ලැබීම නිසා මෙසේ ලංකාවට පැමිණ සසුන් ගත වු බව සරණ හිමියන් පැවිදි දිවියට පත් කළ ඒ හිමියන්ගේ ගුරු හිමියන් වූ කුඩුමිරියේ සෝමිස්සර හිමියෝ පැවසූහ. සසුන් දිවියට පත් කැලිෆෝනියාවේ සරණ හිමියන්ට ලෝකයේ ඕනෑම රටකට යෑමට වීසා සහ ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලැබෙන බවත් එම නිසා විදෙස් රටවල බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට එය මනා පිටුවහලක් වන බව ගලගොඩ ශෛලතලාරාමාධිපති පූජ්‍ය කුඩුමිරියේ සෝමිස්සර හිමියෝ පවසා සිටියහ.