ආණ්ඩුවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට – වෙරිටේ රිසර්ච් වාර්තාව අනාවරණය කරයි

රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි දක්වන කැමැත්ත ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ මත විමසීමකින් අනාවරණය වී තිබෙයි

ඊට අදාළ ව එම ආයතනය නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක්

රට හිතන හැටි මත විමසුම

ආර්ථික විශ්වසනීය දර්ශකය වසර හතරක මත විමසුම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි, + 36 දක්වා ඉහළ යයි

2026 පෙබරවාරි මස 15 වෙනිදා, කොළඹදී ය.

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය  65% ක් ලෙස වාර්තා වී ඇත.  මේ අනුව, ජනතා අනුමැතිය  ප්‍රතිශතාංක ±3  ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතී. මෙම මත විමසුම සඳහා දත්ත එකතු කිරීම වැන්ගාඩ් සර්වේ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් කරන ලදී.

ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. එය මීට පෙර 2025 පෙබරවාරි මාසයේ පැවති අගයෙන් වෙනස් වී නැත.

මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පවතින ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස ඇගයූ පිරිස, එය “දුර්වල” ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇත.

ජනතාව, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව වඩා සුබවාදී මතයක් දැරීම ද මෙවර දක්නට ලැබේ. ආර්ථිකය “යහපත් වෙමින් පවතින බව” පැවසූ පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථිකය “නරක අතට හැරෙන බව” පැවසූ පිරිසෙහි වෙනසක්  සිදු වී නැති අතර ඒ පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පිරිස අඩු වී ඇත. මෙයින් පෙනී යන්නේ රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳව වැඩි පිරිසක් වඩාත් තීරණාත්මකව සහ සුබවාදීව සිතන බවයි.

ආර්ථිකය පිළිබඳ පවතින සියලුම ආකල්ප සෘණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක විහිදෙන “ආර්ථික විශ්වසනීය දර්ශකයක්” ලෙස ඒකරාශී කර ඇත. මීට වසරකට පෙර +14 ක් ලෙස සටහන් වූ මෙම දර්ශකය මෙවර +36 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉතා විශාල වර්ධනයකි.

මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් (59%) වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත. වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය  50% මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

විවිධ අංශ ඔස්සේ පෙර රජයන්ට සාපේක්ෂව වත්මන් රජය ඇගයීමේදී  ධනාත්මක ඇගයීම ඉහළින්ම තිබුනේ මත්ද්‍රව්‍ය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙනි. එය දූෂණය අඩු කිරීම සම්බන්ධව තිබූ ඇගයීමටත් වඩා ධනාත්මකය.

නිතර පවත්වනු ලබන “රට හිතන හැටි” මත විමසුම, වේරිටේ රිසර්ච් ආයතනයේ  සාර්ව දේශපාලන විග්‍රහයන්වලට (Macro Political Briefings) වැඩිදුර කරුණු එකතු කිරීම සඳහා භාවිතා කරන මෙවලමකි. මෙමඟින් ශ්‍රී ලාංකිකයින්ගේ ආකල්ප පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ද ප්‍රශ්න ඇතුළත් කිරීමට හැක. මත විමසුම් ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර තොරතුරු සේවාලාභීන්ට ලබාගත හැක.

මෙම නවතම මත විමසුම දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,048 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා කාලය තුළ පවත්වන ලදි.

මෙම ක්‍රමවේදය තුල ප්‍රතිඵල 95% ක විශ්වාසනීය මට්ටමක උපරිම වශයෙන් ප්‍රතිශතාංක ±3.0 ක ආන්තික දෝෂයකට සීමා වනු ඇත. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අතපසුවීම්වලට ද ආන්තික දෝෂයට බලපෑමක් විය හැක.

img 5954 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *