විද්‍යා පීඨවල සිසුන්ට කොස් දෙල් කවන්න පීඨාධිපතිලා තීරණය කරයි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල සිසුන්ගේ ආහාර වේල් සඳහා ඒ ඒ පීඨ පරිශ්‍රවල පවතින කොස්, දෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීමට පීඨාධිපතිවරු ප්‍රමුඛ කථිකාචාර්යවරු පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ එම සිසුන්ගේ ආහාරපාන වෙනුවෙන් දිනකට ලැබෙන රුපියල් එකසිය හැට හයක මුදල ප්‍රමාණවත් නොවන නිසාය. මේ නිසා සිසුන්ගේ ආහාර වේලේ පවතින පෝෂ්‍යදායී බව දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් පීඨ පරිශ්‍රවල පවතින ආහාර ද්‍රව්‍ය පාරිභෝජනයට පියවර ගත්තේ එම තත්ත්වයෙන් මිදීමට බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන පැවසීය.

සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසක මාසික දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර එම යෝජනාව අනුමත වුවහොත් පිරිමසා ගත හැකි තත්ත්වයක් ඇති වන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

පවතින ආර්ථික තත්ත්වයන් මත රුපියල් පන්දහසක මාසික දීමනාවක් ණය මුදලක් ලෙස සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ගත් උත්සාහයක් අසාර්ථක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *