ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජය දරමින් ජනතාවට උපරිම සේවයක් දීමට සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම උපදෙස් ලබා දුන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අය-වැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අය-වැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවේදීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්විණි.
ඉදිරි අය-වැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීමට වැදගත් වන අංශවලට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අංශ මෙරට ආර්ථිකයට දායක කරගැනීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී ප්‍රවාහන ක්ෂේත්රයට අදාළව වෙන් වෙන් වශයෙන් මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය පිළිබඳ සාකච්ඡා වූ අතර, වරාය සහ එහි කටයුතු සඳහා අය-වැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන, එම ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරය මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසුමට ලක් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති, ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහත්වරුන් ඇතුළු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.