සේදුම්කාරකවල දරුණු පිළිකාකාරක – හෝමෝනවලට දැඩි බලපෑමක් වන බව හෙළි වෙයි

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන විවිධ වර්ගයේ සේදුම්කාරක, විෂබීජ නාශක, ජල විකර්ශක රෙදි ආදියෙහි ශරීරයේ හෝමෝනවලට දැඩි ලෙස හානිකර වියහැකි රසායනික ද්‍රව්‍ය තිබෙන බවට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව, ඇතැම් වැහි කබා සහ ඒප්‍රන ආදියෙහිද මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භනීභාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බවත්, මෙම රසායනික ද්‍රව්‍ය රුධිරය හා මව්කිරි හරහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩිබවත් පර්යේෂකයෝ පවසති.

පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය මෙම පර්යේෂණවලදී හඳුනාගෙන ඇත.

විශේෂයෙන් පොලිෆ්ලුරොඇල්කයිල් ද්‍රව්‍ය ජලයේ දියවන බැවින් ඒවා ජලය හරහා මිනිසාගේ මෙන්ම ජලජ ජීවීන්ගේ සිරුරට ඇතුළුවන බව පර්යේෂකයෝ පවසති.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ ඉන්ටර්නැෂනල් පොලුයුටන්ට්ස් එලිමිනේෂන් නෙට්වර්ක් (IPEN) ආයතනය සමග එක්ව කරන ලද පර්යේෂණයේදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ජල විකර්ශක රෙදිවලින් සකස් කරන ලද ඒප්‍රන, වැහි කබා ආදී ඇදුම් සාම්පල හයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර අධ්‍යයන අංශයට යොමු කිරීමෙන් පසු අනාවරණයවී ඇත්තේ පෆ්ලුරොඩකනොයික් ඇසිඩ් නැමැති රසායනිකය ඒප්‍රනයක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.7 ක් සහ වැහි කබාවක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.6 ක් යන මට්ටම්වලින් අන්තර්ගත බවය.

විදෙස් රටවලින් මෙරටට රැගෙන එන රෙදිපිළිවල මෙම රසායනික වැඩිවශයෙන් අන්තර්ගතවන අතර, මෙම රෙදිපිළි රට තුළ වේගයෙන් සංසරණය වන බවද පැවසේ.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන අත් සේදුම්කාරක, දත් බෙහෙත්, බොඩි වොෂ්, මුඛ සේදුම්කාරක, විෂබීජ පිසදමන ටිෂූ කඩදාසි ආදී සාම්පල 30 ක් දකුණු කොරියාවේ රසායනාගාරයක පරීක්ෂණාගාරයකට යොමුකර පරීක්ෂා කිරීමේදී අනාවරණයවී ඇත්තේ මෙතිල්පැරබින්, එතිල්පැරබින්, ප්‍රොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, පෙන්ටයිල්පැරබින්, ෆීනයිල්පැරබින්, බෙන්සයිල්පැරබින්, ට්‍රයික්ලෝසාන්, ට්‍රයික්ලොකාබන් යන රසායනික සංයෝග ඒවායහි අන්තර්ගත බවය.

පැරබීන සහිත ආහාර, ඖෂධ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරේ හෝමෝනවලට බලපෑම් ඇතිවන අතර, පිළිකා, කළලයේ ගැටලු තත්ත්වයන්, ප්‍රජනන ගැටලු ආදියද ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ව්‍යාපෘති සම්පාදන සහ කළමනාකරණ නිලධාරිනී චලනි රූබසිංහ පවසන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *