වැලිගම පොලිස් බල ප්‍රදේශයේ උඩුකාව, කොස්ගහ හේන ලිපිනයේ පදිංචි තිදරු පියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇති බව වැලිගම පොලිසිය පවසයි. හතළිස් දෙහැවිරිදි එල්. පී. ප්‍රේමකුමාර තිදරු පියෙකි. එමෙන්ම දක්ෂ වඩු කාර්මිකයෙකු වූ ඔහු ඉන් ලබාගත් වැටුපෙන් සිය බිරිඳ සහ දරුවන් නඩත්තු කර වැඩිමහල් පුතුන් දෙදෙනාගේ දියුණුව වෙනුවෙන් ඔවුන් විදෙස් ගතකර ඇත.
පෙරේදා (02 දා) සවස ඔහු බීමත්ව බිරිඳ සමග වචන හුවමාරුවක් සිදුවී ඇත. ඒ වනවිට ඔවුන්ගේ පහළොස් හැවිරිදි දියණියද තවත් තරුණයන් කීපදෙනකුද එම නිවසේ සිට ඇත. බිරිඳ විසින් තම ස්වාමියාව අනෙකුත් තරුණයන් සමග එක්වී නිවස ඉදිරියට ගෙන ගොස් කණුවක් අසල පුටුවක හිඳුවා එහි ගැටගසා තරුණයන් ලවා පහර දී ඇත. පියාට කරන පහරදීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය පුතාට සජීවීව පෙන්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.
පසුව සිහිසුන්ව වැටී තිබෙන ස්වාමියා රැගෙන බිරිඳ වැලිගම දිසා රෝහලට ගෙන යන අතර ඔහු මියගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මරණය සම්බන්ධයෙන් මාතර සොකෝ අංශය පරීක්ෂණ කටයුතු කළ අතර මාතර අතිරේක වැඩ බලන මහෙස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
වැලිගම පොලිසියේ මූලස්ථාන පො.ප. උපුල් කුමාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.