ලක්ෂ 750ක වත්කම් හෙව්ව හැටි කියන්න බැරි වුණ නිසා විමල්ගේ නඩුව කැඳවීමට දින නියම කරයි

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වනදා කැඳවීමටද අධිකරණය නියම කළා.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය විසින් අවවාද කළා

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලනය රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *