ජනෙලේ ගිනිගත්තටත් හිටපු ඇමතිලා ගෙවල් අරන් – ලැයිස්තුව එළියට


අරගලයෙන් විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට ලබාදුන් නිවාස 76න් නිවාස 26ක් ඔවුන් ලබාගෙන ඇති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ටික ටික ගෙවීමේ පදනමෙන් අඩු මුදලට වසර 15ක් දක්වා කාලය ලබා දී මෙම නිවාස ඔවුන්ට දී ඇති බවයි.

එසේ නිවාස ලබාදීම නිසා රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එසේ නිවාස මගින් සිදු වූ පාඩුව සහ මන්ත්‍රී ලැයිස්තුව ඔහු මෙසේ සඳහන් කළා,

”වියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබාදුන්නා. මේ අරගලය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කථානායකවරයා අත්සන් කරලා නිවාස ලබාදෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දෙද්දී නිවාස වල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා තියෙනවා ඒ මන්ත්‍රීවරු. ඒ නිසා ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ D බ්ලොක් එකෙන් නිවාස 101ක් තියෙනවා ඒකෙන් 76ක් වෙන් කරලා තියෙනවා.

නිවාස හදන වෙලාවෙ තිබ්බ වටිනාකම නිවාස හැදුවට පස්සේ තියෙන වටිනාකම මේ දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒ එන උත්තරය සියයට 25ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්නත් ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්නත් කියලා. සාමාන්‍ය අයට වසරකින් මුළු ගාන ගෙවන්න ඕන.

ඒ අනුව ප්‍රසන්න රණතුංග වෙන් කරපු ගෙට මිලියන 9.9ක් ගෙවලා තියෙනවා, ආණ්ඩුවට පාඩුයි මිලියන 11ක්. මුසම්මිල් මන්ත්‍රීතුමා මිලියන 3.3 ගෙට ගෙවලා, ආණ්ඩුවට මිලියන 10ක් පාඩුයි. නිමල් පියතිස්ස මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9ක් පාඩුයි. ගාමිණී වලේබොඩ මිලියන 3.3ක් ගෙවලා, ආණ්ඩුවට මිලියන 09ක් පාඩුයි.

මහින්ද යාපා අබේවර්ධන මිලියන 5.3ක් ගෙවලා, මිලියන 16ක් පාඩුයි. ගාමිණී ලොකුගේ මිලියන 04ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. කුමාරසිරි රත්නායක මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9ක් පාඩුයි. අජිත් රාජපක්ෂ මිලියන 4.2ක් ගෙවලා, මිලියන 12.6ක් පාඩුයි. චින්තක අමල් මායාදුන්නේ මිලියන 4.2ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. මිලාන් සජිත් ජයතිලක මිලියන 4.6ක් ගෙවලා, මිලියන 13ක් පාඩුයි.

තිස්ස කුට්ටිආරච්චි මිලියන 4.1ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. වීරසිංහ දේවගේ වීරසිංහ මිලියන 4.2ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. අසංක නවරත්න මිලියන 3.3ක් ගෙවලා, මිලියන 9.9ක් පාඩුයි. බණ්ඩාර හේරත් මිලියන 4.2ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. එස්.එම්. චන්ද්‍රසේන මිලියන 4.6ක් ගෙවලා, මිලියන 13ක් පාඩුයි. දේවගේ ප්‍රියන්ත අශෝක මිලියන 4.1ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මිලියන 4.1ක් ගෙවලා, මිලියන 12ක් පාඩුයි. එස්.ඒ. සේමසිංහ මිලියන 4.6ක් ගෙවලා, මිලියන 13.8ක් පාඩුයි. ශාන්ත බණ්ඩාර මිලියන 4.1ක් ගෙවලා, මිලියන 12.5ක් පාඩුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *