ලෝකයේ හොඳම යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ලංකාව දිනයි

මැලේසියාවේ  පැවති ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ( I am model search international – 2024 ) තරගාවලියේ දී ලෝකයේ හොදම ‌යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්‍රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා  නිරූපන ශිල්පීන්ගේ  කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුන් අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර්  නුවර ඉකුත් 01/10 දින සිට 01/14 දින දක්වා රටවල් 25 නිරූපන ශිල්පීන් 72 කුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී වයස අවුරුදු 18 – 21 ත් අතර ( MR: Teen ) යෞවන  අංශයෙන් ඉදිරිපත් වූ 19 හැවිරිදි  රසල් කෙනත් පෙරේරා ලෝකයේ හොදම යොවුන් නිරූපන ශිල්පියා ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි . ඔහු මීගමුව , වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . වසර 10 කට පසුව යළිත් වරක් ශ්‍රී ලංකාවට හොදම නිරූපන ශිල්පියා සම්මානය දිනා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි .

 එසේම මෙම තරගාවලියේ දී කාන්තා අංශය නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ 24 හැවිරිදි මෙලෝනි දසනායක තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය කොළඹ , වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

කාන්තා යෞවන අංශයෙන් ( Miss Teen  ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 20 හැවිරිදි  නිලක්ෂි බණ්ඩාර එහිදී සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීට අමතරව ” හොදම සමාජ ක්‍රියාකාරිනී ”  සම්මානය ද දිනා ගැනීමට සමත් වී සිටියාය .

මෙම තරගාවලියේ පිරිමි ( MR )  අංශය නියෝජනය කරමින් සහභාගී වූ 28 හැවිරිදි නවීන් ගුණසේකර ” හොදම බලාපොරොත්තු තබා ගැනීමට හැකි නිරූපන ශිල්පියා ” සම්මානයෙන් පිදුම් ලබා ගැනීමට සමත් වී තිබුණි . ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙම තරගාවලියට ඉදිරිපත් වූ රටවල් 25 අතරින් ” හොදම ජාතික අධ්‍යක්ෂ ” ලෙස සම්මානයට පාත්‍ර වීමට මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික සංවිධායක නිර්මාල් බණ්ඩාර මහතා සමත් වී තිබුණි . මෙම සම්මානය  ශ්‍රී ලංකා නිරූපන ක්ෂේත්‍ර ඉතිහාසයේ  පළමු වතාවට හිමි වී තිබීම විශේෂත්වයකි .

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිරූපන ශිල්පීන් 04 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර , ඔවුන් සියලු දෙනාම සම්මාන දිනා ගැනීමට සමත් වී තිබුණි .
            
මෙම සම්මානලාභීන් පිරිස 01/15 දින උදෑසන 09.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා 2023 වසරේ ( Miss sri Lanka ) ශ්‍රී ලංකා රූ රැජින මල්කි දිසානායක මෙන්ම  මෙම ජයග්‍රාහී නිරූපන ශිල්පීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

image 5703f887e5 Iri News
image 5ffaac717b Iri News
image bb80b7100a Iri News
image 0ef52b74e7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *