සම්මා සම්බුදු රජානණ්ගේ අසිරිමත් තෙමඟුල සිහිකෙරෙන වෙසක් උත්සවයට තවත් ඇත්තේ දින 6ක් පමණයි.
වෙසක් පොහෝ දිනයේ සිට ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කෙරෙන ලොව විශාලතම තොරණ මෙවර ඉදිකෙරෙන්නේ පානදුර පුරවරය කේන්ද්‍ර කරගනිමින්.
සම්බුදු තෙමඟුල සිහි කරමින් සිදුකෙරෙන වෙසක් තොරණ, වෙසක් කූඩු ඇතුළු විවිධ ආමිස පූජාවන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.
වාර්ෂිකව ඉදිකෙරෙන පානදුර තොරණ් රාජයාද එම ප්‍රදේශය ආශ්‍රිතබෞද්ධ සැදැහැවතුන් අතර අවධානය දිනාගන්නා නිර්මානයක්.
මෙවරද එම තොරණේ ඉදි කිරීම් මේ වනවිට ලහි ලහියේ සිදුකරන ආකාරයයි මේ.
නන්දිවාණිජ කතා වස්තුව පිළිබිඹු කෙරෙන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා පනහකට ආසන්න පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිනවා.
තොරණ් රාජයා වර්ණවත් කිරීමට යොදාගන්නා විදුලි බුබුළු සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසකට අධිකයි.
තොරණ නිර්මාණය සඳහා පුවක් ගස් 400ක් යොදාගෙන ඇති අතර එලෙස පුවක් ගස් යොදා ගනිමින් ඉදි කෙරෙන එකම තොරණද මෙය බවයි සැළකෙන්නේ.
පසුගිය වසරේද ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු විශාලතම තොරණ වූයේ පානදුර තොරණයි.
එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස නිර්මාණ කටයුතු මෙහෙයවන්නේ වර්ණගේ සසිත චතුරංගයි.
ඇක්‍රලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙම තොරණේ තවත් විශේෂත්වයක්.
පානදුර මහා තොරණ රාජයා එළැඹෙන වෙසක් පුන් පොහෝ දින සිට මැයි 30 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මේ අතර, ප්ලාස්ටික් ආශ්‍රිතව නිර්මාණය කරන වෙසක් සැරසිලි සහ උත්සව අවස්ථාවන් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික්, ඉටිකොළ යොදා නිෂ්පාදනය කරන සැරසිලිවර්ග තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.