කොරියාවේ ඉදලා ලංකාවට ආපු තරුණයා ඉඩම් එහෙමත් අරගෙන බිරිදත් එක්ක ආපහු කොරියාවට යන්න හදද්දි ගහට යටවී මිය යයි

වසර ගණනක් කොරියාවේ රැකියාව කර ලංකාවට පැමිණ යළි කොරියාව බලායාමට සිටි තරුණයකු ගසක් ඇඟට වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සිදුකළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බෝවල බලදොර පදිංචි ව්‍යාපාරික තරුණයකු වන සමරකෝන් මුදියන්සේලාගේ මහේෂ් සමරනායක නමැති 30 හැවිරිදි අයෙකි. විවාහයකයකු වන මොහු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු මාසයේය.මෙරටට පැමිණි පසු ඉඩම් කිහිපයක් ද මිලදීගෙන ඇති මොහු ගස් කැපීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.කොරියා යාමට පෙර ලී මෝලක වැඩ කර ඇති මොහු එම අත්දැකීම් ලබා ගනිමින් මෙසේ ගස් කැපීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. ගම්පොළ ගල්පාය ලැන්ටන්හීල් ජනපදයේ ගස් කිහිපයක් මිලදීගෙන තවත් දෙදෙනෙකු සමග එම ගස් කැපීම ආරම්භ කර ඇත්තේ මෙම මස 10 වැනි දිනය.අඩි හැත්තෑවක් පමණ උස ගසකට ලණු දමා ගස කැපීම සිදු කරද්දී එකවරම ගස බිමට පාත්වී ඇති අතර එහි සිටි පිරිස එක් දිශාවකට දිව්වද මරණකරු දිව ගොස් ඇත්තේ ගස වැටෙන දිසාවටය. ඒ ගසේ කඳ ඔහුගේ හිසට වැටී ඇත්තේ තවත් කොටයකට හිස හේත්තුවී තිබියදීය.තුවාලකරු ගම්පොළ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මොහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිය බිරිඳ සමඟින් යළි කොරියා බලා යාමට සූදානම්ව සිටියදී මොහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *