මෙට්‍රෝ බස් 104ක් සැප්තැම්බර් 29 වනදා සිට අලුතෙන් ධාවනයට එක් කරයි

කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින්, වඩාත් පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින්, කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් නවීන මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක් කිරීම ලබන සැප්තැම්බර් 29 වැනිදා (අඟහරුවාදා) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙතෙක් මාර්ග 02ක් තුළ පමණක් ක්‍රියාත්මක වූ මෙට්‍රෝ බස් සේවාව, මෙම නව බස් රථ ඇතුළත් වීමත් සමඟ මාර්ග 07ක් දක්වා ව්‍යාප්ත කෙරෙන අතර, මිලේනියම් සිටි – කොළඹ කොටුව, දෙමටගොඩ – පානදුර, තලංගම ඩිපෝව (බත්තරමුල්ල) – ඒකල, මාකුඹුර (කැස්බෑව) – පිටකොටුව සහ කොල්ලුපිටිය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් මෙයට ඇතුළත් වේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව විධිමත් ලෙස ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සඳහන් කරයි.

මෙයට සමගාමීව, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මංතීරු හතක් ද සැප්තැම්බර් 29 වැනිදා සිට වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, එම මංතීරු උදෑසන 6.00 සිට 9.00 දක්වාත් සවස 4.00 සිට 7.00 දක්වාත් වන කාර්යබහුල කාලසීමාවන් තුළ මෙට්‍රෝ බස් රථ ඇතුළු මගී ප්‍රවාහන බස් රථ සඳහා පමණක් සීමා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *