කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව අතහැර දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින 11ක් වයසැති බිළිඳාගේ දෙමාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කළේය.
රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්වූයේ පිරිමි ළදරුවෙකි. දරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය ලබා දී තිබේ.නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවකුටත් නොදන්වා මීට දින කිහිපයකට පෙර පිටව ගොස් තිබිණි. ඒ අතරේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් ඇත.ඒ අනුව මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා දෙමාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ තෙන්නකෝන් මහතා පොලීසියට නියම කළේය. එසේම ළදරුවාගේ දෙමාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැලකිල්ලට ගත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දන්වන ලෙසද නියම කළේය.පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ දෙමාපියන් බවට සැක කරන අතර ධම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් දරුවා ප්‍රසූත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවට සැක කරන පොලීසිය මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සැඟව සිටින තැන් සොයා විමර්ශන සිදුකරමින් සිටී.