මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතුවලට ප්රමුඛත්වයක් ලබා දෙමින්, රුපියල් මිලියන 1950 ක දැවැන්ත වියදමකින් දිවයින පුරා රෝහල්වල CT ස්කෑනර් සේවා පුළුල් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙමඟින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිශ්චයන් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවේ.
දීර්ඝ කාලයක් තිස්සේ රජයේ රෝහල්වල පැවති පැරණි 16-ස්ලයිස් යන්ත්‍ර වෙනුවට, වර්තමාන වෛද්‍ය තාක්ෂණයට ගැලපෙන ඉහළ ගුණාත්මකභාවයකින් යුත් 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් අධි තාක්ෂණික යන්ත්‍ර ලබා දීම මේ වන විටත් අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ:
ළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 128-ස්ලයිස් CT ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් CT ස්කෑනර් යන්ත්‍රයක් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් දැනටමත් ස්ථාපිත කර ඇත
ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640 ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් 4ක් ලබා දී ඇති අතර ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
ලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, مන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950 ක වටිනාකමකින් යුත් අතිනවීන CT ස්කෑනර් මිලදී ගැනීමට දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
මෙම වැඩසටහනේ සුවිශේෂීම ලක්ෂණය වනුයේ එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට පමණක් සීමා නොවී පළාත් සභා රෝහල් ද ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීමයි. එමඟින් දුර බැහැර ප්‍රදේශවල ජනතාවට ද ප්‍රධාන නගරවලට සීමා වී තිබූ උසස් රෝග විනිශ්චය පහසුකම් ප්රාදේශීයවම ලබා ගැනීමට අවස්ථාව හිමිවේ
මෙරට තුළ ඉහළ යමින් පවතින බෝ නොවන රෝග, මාර්ග අනතුරු සහ වයස්ගත ජනගහනය ඉහළ යාම තුළින් මතුවන සෞඛ්‍යමය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමටත්, ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කර ජීවිත රැක ගැනීමටත් මෙම දැවැන්ත ආයෝජනය මහඟු පිටුවහලක් වනු ඇත.