හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මිය යයි

හොරණ  බටගොඩ  “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු පමණ මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

ගින්න හටගත් අවස්ථාවේදී එහි කාන්තා හා පුරුෂ වැඩිහිටියන් හැත්තෑ දෙනකු පමණ රැඳී සිට ඇති අතර, ඔවුන්ගෙන් 45 දෙනකු පමණ ආරක්ෂිතව මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නෙන් මියගිය වැඩිහිටියන් 11 දෙනාගෙන් බොහෝ දෙනකු තමන් සිටි පුටුවලම අසුන්ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

තවද ගින්නෙන් තුවාල ලැබූ හය දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් වාර්තා ලබා ගනිමින් සිටින බව ද සඳහන් වේ.

හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ තිබූ ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පිපිරීම හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව ද සඳහන් වේ.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය අයගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ සිද්ධියේ හේතු සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

image ea1c5fbf4a Iri News
image 192c6c92f6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *