කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව 125,000ක් රාජ්‍ය සේවයට බදවා ගනියි

මේ වනවිට රාජ්‍ය සේවයට 125,000ක් සමස්තයක් විදිහට බඳවගෙන තිබුනත් ඒ කිසිවකට දේශපාලන මැදිහත්වීම් සිදු කර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඒ පසුගියදා (15) පැවති නව පත්වීම් ලද කළමනාකරණ සේවා නිලධාරින් පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

“ඇත්තටම මෙතන ඉන්න 87 දෙනෙක්, ඒ කිසිවෙක් ඇමතිවරුන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවලින් ආපු අය නෙමෙයි. මෙතන ඉන්නවද එහෙම කවුරුත්? ඇමති ළඟට ගිහිල්ලා, මන්ත්‍රී ළඟට ගිහිල්ලා තමන්ගේ පත්වීම ලබාගන්න කටයුතු කරපු?

අදටත් අපිට දැන් මේ අතරමඟ එනකොට මට කෙනෙක් කතා කරා. මොකක් හරි තනතුරකට ඇප්ලයි කරලා තියෙනවා, සහයෝගයක් දෙන්න කියලා. ඉතින් මම එයාට පැහැදිලි කරා අපි පත්වීම් ලබාදෙන ක්‍රමවේදය. ඉතින් මම හිතන්නේ 1,25,000ක් වගේ රාජ්‍ය සේවයට මේ වෙනකොට සමස්තයක් විදිහට බඳවගෙන තිබෙනවා. ඒ කිසිවකට දේශපාලන මැදිහත්වීම් කරලා නැහැ.

අපිට දේශපාලන මැදිහත්වීම් ඉල්ලන අයගෙන් අපි කියන්නේ, ඔබට යම් අසාධාරණයක් වුණායැයි හැඟුණොත් අපිට කියන්න, අපි ඒ තැන්වලට මැදිහත් වෙන්නම්. ඒක තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

හැබැයි ඉතින් අපි දන්නවා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒක වුණාට සමහර ඉතාමත්ම අතලොස්සක්, සමහරවිට ඒක එහෙම නොවන තැන් තිබෙනවා. දේශපාලන අධිකාරීත්වයෙන් නෙමෙයි, සමහර තැන්වල රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන්. ඒවත් අපි බලමු ඉස්සරහට හෙමීට හදාගන්න. මොකද පසුගිය දවස්වල බස්නාහිර පළාතේ විදුහල්පති තනතුරු දුන්නා 33ක් හෝ 34ක්.

ඉතින් අදත් මට සමහරු කතා කරලා කියනවා අහවල් පත්කිරීම ගැන ගැටලු තියෙනවා. ක්ලාස් 1 විදුහල්පතිවරයෙක් ඕන තැනකට ක්ලාස් 2 කෙනෙක්ව දාලා තියෙනවා. සමහර තැන්වල නුසුදුස්සෝ පත් කරලා තිබෙනවා. පත්කරපු අයට විවිධ විවේචන තිබෙනවා. එක්කෙනෙක් පත් වෙච්ච කෙනෙක් වෙන කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් ගෙනැල්ලා තමයි ඉන්ටර්වීව් එකට ඉදිරිපත් කරේ කියලා චෝදනා ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා චෝදනා කරන හැමෝටම ලිඛිතව ඒ තොරතුරු දෙන්න.

මම ආණ්ඩුකාරතුමාත් එක්ක කතා කරලා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කමිටි එකක් දාලා ඒ පිළිබඳව වෙනම ආපහු විමර්ශනය කරන්න. මම මේ කිව්වේ හැමෝම නෙවෙයි, ඉතාම අතලොස්සක්. අපි ලබාදීලා තිබෙන නිදහස, ඒ කියන්නේ දේශපාලනීකරණයෙන් රාජ්‍ය සේවය මුදවා ගැනීම තමයි අපි ලබාදීලා තිබෙන මේ නිදහස. ඉතින් ඒක අයුතු ලෙස පාවිච්චි කරන තැන් තියෙන්නට පුළුවන්. මොකද අපි දන්නවා වසර 70 ගාණක් නේද? එකම පාරක, එකම පීල්ලක, එකම රටාවක ආපු රටක්. ආපසු හරවන්න යනකොට ඒක එකවර සිද්ධ වෙන්නේ නැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *