පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින සිරකරුවන් 15 දෙනා එකම කුටියක එකට නොතබා සිරමැදිරි කීපයකම වෙන් වෙන් වශයෙන් රඳවා තබා සිටින බව බන්ධනාගාර ප්‍රකාශකයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.
මෙම සිරකරුවන්ගේ ක්‍රියාකලාප පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසුවන බවද බන්ධනාගාරය කියයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් මෙම 15 දෙනාට නඩුවෙන් පසුගියදා වසර 200කට වැඩි සිරදඬුවමක් නියම වුණි.
මෙම සිරකරුවන් බන්ධනාගාරයෙන් සපයන ආහාර ලබාගන්නා අතර සෙසු සිරකරුවන් සමග සුහඳව කතාබස්වල යෙදෙන බවද දැන ගැනීමට ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙම සිරකරුවන් පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ දැඩි අවධානය යොමු කර තිබේ. මේ අතර 15 දෙනා සතු දේපළ රාජසන්තක කිරීම සඳහා ක්‍රියාකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.
මේ පිළිබඳව අධිකරණයෙන් ලැබෙන තීන්දු තීරණ නීතිපතිවරයා වෙතට යොමු කිරීමෙන් අනතුරුව ලැබෙන දැනුම්දීම අනුව මෙම සිරකරුවන්ගේ දේපළ මෙසේ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය. රහස් පොලිසිය මගින් ඒ ගැන විශේෂ විමර්ශනයන් සිදුකරන බවද පොලිසිය කියයි. දේපළ රාජසන්තක කිරීමට මාස කීපයක් ගතවීමට ඉඩ තිබෙන බවද පොලිසිය කියයි.