උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කරගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සිද්ධියෙන් මියගියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක්.
බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයීෂා පරවීන් දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ පවුලක වැඩිමහළු දරුවායි.
ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැතිවීමද ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණා.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිව ලැබුණේ නැහැ.
පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්‍ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙනවා.
නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.
මවගේ එම ප්‍රකාශයත් සමඟ අයීෂාගේ ඊළඟ පියවර වී තිබුණේ තම ජීවිතය අහිමි කර ගැනීමයි.
ඒ අනුව ඇය වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර ඉන් පසුව ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවන්නේ නැහැ.