විදේශවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

ඔවුන් සැඟව සිටින රටවල් ද  හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් එම පිරිස සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කර ඇති බවයි.

විදේශවල සැගව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 11ක් නව රජය බලයට පත්වූ දා සිට මේ දක්වා දිවයිනට රැගෙන විත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

මේ අතර පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම විමර්ශන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *