නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2015 දී මේ රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය ඇමැති ඩීවී චානක මහතා පැවසීය. ඊයේ (13 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
අද උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් බඳිනවා. 15 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසුව අපගේ මැතිවරණ සටන ලබන 21 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අපි ආසන රැස්වීම් මාලාවක්, දිස්ත්‍රික් රැස්වීම් මාලාවක්, ඒ වගේම සෑම සමෘද්ධි කලාපයකටම රැස්වීම බැගින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ රටේ ජනතාව අපේක්ෂා කළේ තාවකාලික විසඳුමක් වෙනුවට ස්ථාවර විසඳුමක්. එම ස්ථාවර විසඳුම ලබාදෙන්න පුළුවන් නායකත්වය අපි ලබාදීලා තිබෙනවා.
රටේ ආර්ථිකය කඩා වැටීමට, බලශක්ති අර්බුදයට වගකියන්න ඕන යහපාලන ආණ්ඩුව. එම යහපාලන ආණ්ඩුවේ සිටි අය කොටස් හතරකට බෙදිලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා. අපගේ පක්ෂය ගොඩනැගිල තිබෙන්නේ මහින්ද චින්තනය වටා. අපගේ පාර්ලිමේන්තු පළාත් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වටාත් සුළු ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයන්ගෙන් 75%ක් ඡන්දය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂ සඳහා. ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් 95%ක්ම තවදුරටත් අපගේ පක්ෂය සමග කටයුතු කරනවා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් 95%ක් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරනවා. බිම් මට්ටමේ ශාකා සමිති 99%ක් තවදුරටත් අපත් සමග සිටිනවා. අපගේ පක්ෂය ගොඩනැගිල තිබෙන රාමුවට අනුව ජනාධිපතිතුමාට සහයෝගය ලබාදීමට ගිය පිරිසට 10% කවත් ඡන්ද ප්‍රමාණයක් නැහැ.
ඒ වගේම අපට පමණයි රඟපාල පෙන්වන්න අවශ්‍ය නැති අපේක්ෂකයෙක් ඉන්නේ. සමහර අපේක්ෂකයන් ක්‍රිකට් ගහල පෙන්වනවා. සමහර අපේක්ෂකයන් දුවල පෙන්වන්න වෙනවා තමන්ට දුවන්න පුළුවන් කියලා. නමුත් අපේ අපේක්ෂකයට එහෙම ප්‍රශ්න නැහැ.
ඒ වගේම රටේ සංස්කෘතිය වගේම නූතනත්වයත් රැකගෙන කටයුතු කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි නාමල් රාජපක්ෂ මහතා. අනිවාර්යයෙන් සැප්තැම්බර් 21 ඒ මහතා ජයග්‍රහණය කරනවා. පළමුවන වතාවට තමයි තරුණයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. නාමල් මහතා අපේක්ෂකයා ලෙස නම් කරලා පැය 24ක් ගතවෙන්න කලින් මේ රටේ සිටින තරුණ නායකයන් ඇවිත් එතුමා හමුවෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා අපි තරුණයන්ට ආරාධනා කළා අපත් සමග එකතු වෙන්න කියලා. පැය 2ක් ගතවෙන්න කලින් 5000ක පමණ පිරිසක් එකතු වූවා නාමල් රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීම සඳහා. මේ රටේ තරුණයන් තේරුම් අරන් තිබෙනවා මේ රටේ උරුමය වගේම තාරුණ්‍යයේ සිතුම් පැතුම් ඉටුකරන්න පුළුවන්. ආරක්ෂා කරන්න පළුවන් නාමල් රාජපක්ෂ මහතාට කියලා.
ඒ වගේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් උතුරට එකක් සහ දකුණට එකක් කියන්නේ නැත්තේ නාමල් රාජපක්ෂ මහතා පමණයි. ඒ වගේම 13 වන සංශෝධනය අනිවාර්යයෙන්ම දෙනවා කියලා කියන්නේ නැත්තේ නාමල් රාජපක්ෂ මහතා පමණයි. ඒ මහතාට මුළු රට සම්බන්ධයෙන්ම තිබෙන්නේ එක ප්‍රතිපත්තියක් පමණයි. දකුණට වගේම උතුරටත් සංවර්ධනය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. නාමල් රාජපක්ෂ මහතාගේ ප්රතිපත්තියත් ඒකම තමයි. 2015 දී යහපාලන ආණ්ඩුව යටතේ මේ රටේ සංවර්ධනය නැවතුණා. නමුත් නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මේ රටේ සංවර්ධනය යළි 2015 දී නැවතුන තැන සිට ආරම්භ කරනවා.