මත්තල ගුවන්තොටුපළ ගන්න සමාගම් 45ක් කැමැත්ත පල කරයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන සමාගම් 45 ක් පමණ මේ වෙනවිට අභිලාෂය පළ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා කියයි.

අභිලාෂය පළ කිරීමේ පත්‍රිකා විවෘත කළ පසු පවත්වන ලද Proposal Meetings සඳහා ආයතන 45කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇති බව ද හෙතෙම ලංකාදීප පුවත්පත සමඟ පවසා තිබේ.

ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යෑම සඳහාත් අලුතින් යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහාත් ආයෝජනය කිරීමට කැමති ආයතනවලින් අභිලාෂය කැඳවීම සඳහා වන අභිලාෂය පළ කිරීමේ පත්‍රිකා (EOI) ජූලි මස මැද තෙක් කැඳවනු ලබන බවත් ඒ අනුව මේ වෙනවිට ගුවන් සේවා ආශ්‍රිත සමාගම් විශාල ප්‍රමාණයක් මෙලෙස අභිලාෂය පළ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජූලි මස 9 වැනිදා තෙක් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දී ඇති බැවින් මේ මස අවසන් සතිය වන විට ගුවන්තොටුපොළෙහි ආයෝජන කිරීමට කැමැත්තෙන් පසුවන ආයතන සංඛ්‍යාව කොපමණ ද යන්න නිශ්චිතව දැන ගත හැකි වෙනු ඇති බව කී ඔහු පසුගිය රජය කාලයේ මත්තල ගුවන් තොටුපොළ සඳහා ආයෝජකයකු සොයා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳ වූ අවස්ථාවේදී සමාගම් දෙකක් පමණක් ඉදිරිපත් වු බව ද සිහිපත් කළේ ය.

මෙම ක්‍රියාවලිය මෙම වසර ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පවත්වා ගෙන යෑමට පමණක් වසරකට රුපියල් බිලියන 3 ක පමණ මුදලක් වැය වෙන බව ද ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරම්භ කර ඇති ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වෙනවිට එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබන රාමුව තීරණය කිරීම වෙනුවෙන් විශේෂඥ සමාගමක් ද පත් කර ඇති බව ය. වඩාත් ලාභදායක ලෙස ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ව්‍යාපාර මාදිලිය එම සමාගම මගින් තීරණය කරන බව ද හේ පැවසීය.

අදාළ සමාගම ලබා දෙන නිර්දේශ අනුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විදෙස් ආයෝජකයකු සමග ඉදිරියට යා යුතු බවට යෝජනා කළ හොත් ආණ්ඩුව ඒ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය. මාස හයක් වැනි කාලයක දී මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *