මාස පහක කාලයේ ඩොලර් මිලියන 650ක BOI ව්‍යාපෘති 64ක් සම්මතයි

නව රජය පත්වූ දින සිට මේ දක්වා ගෙවුණු මාස 05ක කාලයේ ඩොලර් මිලියන 650ක් වටිනාකමකින් යුත් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති 64ක් සම්මත වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යයනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් දිවයිනට පැමිණ සිටින චීන ව්‍යාපාරිකයන් සමඟ පෙරේදා (28) කොළඹ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මේ දක්වා ලැබී ඇති ආයෝජන සම්බන්ධ යෝජනාවලින් රුපියල් බිලියන 3.7ක ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයට යොමුකර තිබේ.මේ ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමටත් විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක වේ.

විදේශ සම්බන්ධතා හරහා ආයෝජන ප්‍රවර්ධනයේ එක් අවස්ථාවක් ලෙස ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක,මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *