මෙරට ලක්ෂ 60ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි – වසරකට 40,000ක් මිය යයි

මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය වසර සිය ගණනකට එපිටය. ගංජා (මරිජුවානා) අබිං සහ අරක්කුවලින් පටන් ගත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගෙවී ගිය වසර විසි ගාණ තුළ ඉතා වේගයෙන් හෙරොයින්, අයිස් සහ විවිධ මත් පෙතිවලට මාරු වී තිබේ. මත්ද්‍රව්‍ය නොමැති නගරයක් සොයාගැනීමට අපහසු තරමට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වේගවත් විය. මතට තිත, මතින් නිදහස් රටක්, යුක්තිය මෙහෙයුම විවිධ නම්වලින් මතට වැට බැඳීම පටන් ගත්ත ද මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරයන්ගේ ශක්තියෙන් වැට කඩුලු කඩා සුණුවිසුණු කර මත බෙදීම දිගටම කරගෙන යන බව සැබෑය. කුඩු රජවරු කොතරම් සිර කර තැබුව ද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ කිසිදු අඩුවක් නොපෙනේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාතල කල්ලි අතර මරා ගැනීම ද අඩු නැත. චිකාගෝවක් තත්ත්වයට පත් කරමින් ප්‍රසිද්ධියේ වෙඩි තබා දෙතුන්දෙනා එක තැන මරා දමන තිරිසන් සිද්ධි ද විටින්, විට වාර්තා වේ.

කියන්න දුකයි මේ රටේ ලක්ෂ 60ක් මතට ඇබ්බැහි වෙලා
මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

මේ වන විට මෙරට ලක්‍ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින බව පොලිස්පතිවරයා පසුගිය දිනක මධ්‍යයට පැවසුවේය. ඔහු ඒ බව පවසා සිටියේ ‘යුක්තිය’ මෙහෙයුමේ සය මාසික ප්‍රගතිය හා එම මෙහෙයුමේ දෙවැනි අදියර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට සහභාගි වෙමිනි. යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට හඳුනාගත් පුද්ගලයන් 5979 ක් අතරින් 5449 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයා සඳහන් කළේය. ප්‍රතිශතයක් ලෙස එය 91% කි. එමෙන්ම යුක්තිය මෙහෙයුමේ පළමු අදියර යටතේ ජාවාරම්කරුවන් ඇතුළු විවිධාකාරයෙන් මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ එක්ලක්‍ෂ පනස්දෙදහස් හැත්තෑ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. ඔවුන් අතරින් 5448 ක් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන අතර, 837 ක් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව ද පවසා සිටියේය. යුක්තිය මෙහෙයුම යටතේ පොලිසිය භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන දහනව දහස් හැත්තෑපහකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙස ඉපැයූ දේපළවල වටිනාකම මිලියන එක්දහස් හාරසීය පනස් හතක් වන අතර, ඊට අදාළ මුදල් පොලිසිය භාරයට ගෙන රාජසන්තක කර ඇති බව ද වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ ගම් මට්ටමින් රාජසන්තක කිරීමේ ක්‍රියාමාර්ගය ද පසුගිය 04 වැනිදා සිට ආරම්භ කර ඇත. එමෙන්ම මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් ද දීපව්‍යාප්තව සිදු කරගෙන යන බව වාර්තා වේ. එහෙත් මෙරට මත්ද්‍රව්‍ය භාවිතය අඩු වී ඇති බවක් පෙනෙන්න නැත. මුළු රටම මතින් වැපිරී තිබෙන බව මන්දබුද්ධික නොවන මිනිසුන්ට හොඳින් වැටහේ. එහෙයින් ‘යුක්තිය මෙහෙයුමේ’ සාර්ථකත්වය ගැන නැවත සලකා බැලිය යුතුය. එමෙන්ම ‘යුක්ති මෙහෙයුම’ යටතේ පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නිසියාකාර පුනරුත්ථාපනයක් වනවා ද යන්න ගැන අදාළ බලධාරීන් සොයාබැලිය යුතුය. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල විශෝධනය වී නැවත සමාජගත වන පුද්ගලයන් පවසනුයේ ටි්‍රප් එකක් ගියා හා සමානයි කියා ය. එම ප්‍රතිචාරය යහපත් නැත. එම කතාවේ ඇතුළාන්තය සොයාබැලීම අදාළ බලධාරීන්ගේ යුතුකම බව නැවත මම සිහිපත් කරමි. පුනරුත්ථාපනය පුළුල් නිවාරණයකි. එය නොදැන කිරීමෙන් සිදු වනුයේ සමාජ පරිහානිය වර්ධනය කිරීමකි. එහෙයින් අත්අඩංගුවට ගන්නා මත්ලෝලීන්ව විදිමත් අයුරින් පුනරුත්ථාපනය කිරීම රජයේ ප්‍රධාන රාජකාරියක් විය යුතුය.

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බහුල බස්නාහිර පළාතේ ය. එම පළාතේ බහුල වශයෙන් මත්ලෝලීන් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයේය. කොළඹ නාගරික කොට්ඨාසය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අතිශය වැඩිය. නගර ආසන්න සෙසු ප්‍රදේශවල ද සැලකිය යුතු මට්ටමේ මත්ද්‍රව්‍ය භාවිතයක් සිදු වෙමින් තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල ද අඩු, වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත වී තිබේ. මත්ද්‍රව්‍ය තොග කොපමණ අත්අඩංගුවට ගත්ත ද රට හැම තැන මත්ද්‍රව්‍ය අඩු නැති බව සැබෑය. මද්‍යසාර මිල ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබුණ ද භාවිතා කරන පුද්ගලයන්ගේ පැහැදිළි අඩුවීමක් නැත. මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්කොළ භාවිතා කරන පුද්ගලයන් ලක්‍ෂ 60ක් මෙරට සිටින බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා අප සමග පැවසුවේ ය. මද්‍යසාර භාවිතා කරන පුද්ගලයන් ලක්‍ෂ 25කි. එම පිරිසෙන් ලක්‍ෂ 18ක් පමණ කරදරකාරී මත්පැන් ලෝලීන්ය. ඔවුන් පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමාජයට ද වදයකි. එමෙන්ම වාර්තා වන හෙරොයින් ලෝලීන් සංඛ්‍යාව 90,000 කි. අයිස් මත්ද්‍රව්‍ය ලෝලීන් 50,000ට ආසන්නය. පසුගිය කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ ද මෑතක සිට එම මත්ද්‍රව්‍ය භාවිතය පහළ වැටෙන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. එමෙන්ම පසුගිය කාලයේදී අලුත් මත් පෙති වර්ගයක් මෙරටට හඳුන්වාදීමත් සමග භාවිතය ඉහළ ගොස් තිබිණි. එහෙත් මෑතක සිට මත්පෙති භාවිතයේ ද පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කෙරේ. මෙරට දුම්කොළ භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ 30 කි. ඔවුන්ගෙන් ලක්‍ෂ 15 ක් දුම් නොනඟින දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී සිටිති. එම දුම්කොළ භාවිතය මනුෂ්‍ය ශරීරයට අතිශය අහිතකරය. එහෙයින් මරණ සංඛ්‍යාව අති විශාලය.

මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ පෙන්වා දෙන ආකාරයට පසුගිය කාලයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බහුතරය වයස අවුරුදු 25ට වැඩි වයස් කාණ්ඩවල තරුණයන්ය. එහෙත් 2020 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන බහුතරය වයස අවුරුදු 15, 17, 18 සහ 20 ඉක්ම නොගිය ළමයි වීම බරපතළ තත්ත්වයකි. ඒ බව හොඳින් තේරුම් ගෙන මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරු විසින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් මැඬලීමට නීති රීති සම්පාදනය කරමින් සිටීම අතිශය යහපත් බව ද උන්වහන්සේ පැවසූහ. කඩිනමින් සම්මත කරගෙන ක්‍රියාවට නැංවීමට හැකියාව තිබේ නම් ඉතාම යහපත් බව ද කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ සිහිපත් කළහ.

කියන්න දුකයි මේ රටේ ලක්ෂ 60ක් මතට ඇබ්බැහි වෙලා

එහෙත් මෙරට බිග් මැච් පැවැත්වෙන කාලයට නරඹන්නන් උණුසුම් වන්නේ මද්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතයෙනි. මත් දියෙන් දෝවනය වී ජල්ලි නටන ආදි ශිෂ්‍යයන් අනුකරණය කරන පාසල් ළමයි බහුලව මතට පෙළඹෙන්නේ බිග් මැච් කාලයේදීය. ඇතැම් බිග් මැච් අතරතුර පාසල් ළමයින් මත්පැන්වලට පෙළඹවීමක් නොව පොළඹවා ගැනීමක් ද සිදු වන්නේය. ප්‍රසිද්ධ යැයි කියන බිග් මැච් පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළ ප්‍රසිද්ධියේ බියර් අලෙවි කෙරේ. ක්‍රීඩා පිටිය තුළ බියර් අලෙවි වන්නේ බිග් මැච් ක්‍රීඩා කරන පාසල්හි විදුහල්පතිවරුන්ගේ ද අනු දැනුම පිටය. එමෙන්ම මෙරට බොහෝ නිවෙස්වල මඟුලට, මරණෙට, දානෙට, පිරිත් පින්කමේ දී කෑමට පෙර මත්පැන් පිළිගැන්වීම පුරුද්දක් කරගෙන සිටිති. වෙසක්, පොසොන් පින්කම් ‘කානිවෙල්’ බවට පත් කරගෙන හොල්මන් ගුහා නිර්මාණය කර කෙල්ලො, කෙල්ලෝ, වැඩිහිටියෝ මත් විකාරෙන් ජල්ලි නටති. ඒ සෑම කටයුත්තකදීම සිදු වන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ප්‍රවර්ධනයකි. එම ප්‍රවර්ධනය සිදු වන්නේ සමාජය තුළිනි. එවැනි වල්මත් වූ සමාජයක් මතින් නිදහස් කරගැනීමට දියත් කරන මෙහෙයුම්වල ද ප්‍රතිඵලයක් නැත. මද්‍යසාර, මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතය නිසා වසරකට මියැදෙන පුද්ගල මරණ හතළිස්දහසේ ද අඩු වීමක් නැත. අප කම්පනයට පත් වී සිටිනුයේ මත නිසා මියැදෙන සෑම කෙනෙක්ම පිරිමියෙක් වීම ගැනය. මෙරට ආර්ථිකයට වැඩදායී පුරවැසියෙක් වීම නිසාය.

සිදුවිය යුත්තේ මෙපමණකි. තමාට, තමා ආදරය කර මතින් දුරස්විය යුතුය. දෙමව්පියන් තම දරුවන් ගැන පෙරට වඩා සැලකිළිමත් විය යුතුය. එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ‘රෝපිත ඉල්ලුම’ අවම කිරීමට හෝ ශුන්‍ය කිරීමට දෙමවුපියන්ගේ අවශ්‍ය මැදිහත්වීම ලබා දිය යුතුය. එම මැදිහත්වීම පටන් ගත යුත්තේ තම දරුවාගෙනි. නියම කාලයට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන්නා සේ තම දරුවන් මතට ඇබ්බැහි නොවීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ද ලබා දිය යුතුය. ඒ අනුව කුඩා කාලයේ සිටම අකුරු ඉගැන්වීමට පෙර තම දරුවන්ට යහපත් පුරුදු පුහුණු කළ යුතුය. බෞද්ධ පරිසරයක ජීවත්වන මිනිසුන් විදිහට රට, ජාතියට, අසල්වාසීන්ට, සතා සීපාවුන්ට ආදරය කරන මෛත්‍රිය, කරුණා ගුණයෙන් යුක්ත සංවේදී දරුවෙක් නිර්මාණය කිරීම සෑම පුරවැසියක්ගේම වගකීම කර ගත යුතුය. ගුණයහපත් ළමයෙක් සමාජයට දායද කිරීමට පෙර පාසලේ සිට මෙරට පාසල් පද්ධතියේ ද වගකීමකි. ඒ සම්බන්ධයෙන් යම් කෙනෙක්ට දැනුමක් අවශ්‍ය නම් නොපමාව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහාය ලබාගත හැකිය. මෙරට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන සංවර්ධන නිලධාරිවරයෙක් සේවයේ නිරතව සිටී. පමා නොවන්න: උද්ගතව ඇති මත් උවදුර භායනකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *