මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙක් වෙනුුවෙන් ජනාධිපතිවරණ අපෙක්ෂකයෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව යටතේ ය.
මෙම වියදම් සීමාවන් තීරණය කළේ සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව මැතිවරණ කොමිසම දන්වා සිටී.
ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සිය ප්රචාරක කටයුතු සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටින එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109කි
ඒ අනුව එක් අපේක්ෂකයෙකුට සමස්ථ මැතිවරණය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ අනු අට දහස්, පන්සිය අසු හය (රුපියල් 186, 82,98,586 ) කි. ප්රචාරක වියදම් සදහා එම මුදලින් සියයට හැටක ප්රමාණයක් එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකිය.
ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ හැත්තෑ නව දහස් එකසිය පනස් එකයි ශත හැටක ((112,09,79,151යි ශත 60යි) මුදලක් සිය ප්රචාරක වියදම් ලෙස දැරිය හැකි වේ.
ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහ නව දහස් හාසිරය තිස් හතර යි ශත හතලිහක ( 74,73,19,434යි ශත 40යි) මුදලක් අපේක්ෂකයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ගැසට් නිවේදනය අනුව මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ.
එම වාර්තාව සැකසීමේ දී ප්රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇතුළත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක්රියාවක් වන බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.