වාහන ආනයනයට අදාළ සීමා ලබන වසරේ (2025) පෙබරවාරි සිට ඉවත් කළද,වාහන තීරු බදු ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති අලි සබ්රි පැවසීය.
“පුළුවන් ශ්‍රී ලංකා“මැයෙන් බම්බලපිටියේදී ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
විදෙස් සංචිත ආරක්ෂා කරගතයුතු නිසා මෙලෙස තීරුබදු ගාස්තු ඉහළ දමන බවද ඔහු පැවසීය.
රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ පහ දක්වා වැටුප ගන්නා අයට සියයට 15 සිට 23 දක්වා අය කරන බද්ද අඩු කිරීමට අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගෙන ඇති බවත්, එය ලබන වසරේ අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීවේය.
රජය ණය ගෙවා නැතැයි ඇතැමුන් චෝදනා කරන බවත්,ගෙවා නැත්තේ විදෙස් රටවල් 17 කින් ගත් ද්වි පාර්ශ්වික ණය සහ සෛවරී බැඳුම්කර හිමියන්ගෙන් ගත් ණය පමණක් බවත්, දේශීය ණය සියල්ල ගෙවා ගෙන යන බවත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ වෙනත් රටවල මහ බැංකු වලින් ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 5.2 විදේශ ණය ඉකුත් 2022 සහ 2023 වසර දෙකේදී ගෙවා තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
2022 වසරේදී ඩොලර් මිලියන 2,483 ක්ද, 2023 වසරේදී ඩොලර් මිලියන 2,589ක් ගෙවා ඇතැයිද ඔහු කියා සිටියේය.
අනෙක් ප්‍රධාන අපේකෂයෝ දෙදෙනාම ආදායම් බදු අඩු කරන බව පවසා තිබෙන බවත්, මෙමගින් සිදුවන්නේ ධනවතුන්ට තවදුරටත් සහන ලබාදීම බවත්, රුපියල් මිලියනයකට වැඩියෙන් උපයන අය ඉන්නේ ලක්ෂ තුනක් පමණක් බවද ඔහු කීවේය.