ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ විය යුතුයි – හිටපු ජනපති රනිල් කියයි

ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයක් ඔස්සේ ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

ඊයේ කොළඹ දී පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසී ය.  

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මුළු ලෝකයටම වාගේ බලපාන පරිදි සිදු කර තිබෙන තීරු බදු ඉහළ දැමීම, මෙතෙක් පැවති “ගෝලීයකරණය” ට දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි. ට්‍රම්ප්ගේ මෙම මැදිහත් වීම හේතුවෙන් “ගෝලීයකරණය” අතුරුදන් නොවන නමුත්, අවම වශයෙන් එහි දුර්වල වීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු පවසන්නේ.

“ගෝලීයකරණය” දුර්වල වීමෙන් ආර්ථිකයට ඇති වන බලපෑම “කලාපීයකරණය” හරහා ප්‍රතිශ්ඨාපනය කර ගත හැකි දැයි විමසා බැලිය යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අපේ කලාපය ගතහොත්,  2050 වන විට ඉන්දියාව ලොව දෙවැනියට විශාලම ආර්ථිකය බවට පත්වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එමෙන්ම ඉන්දුනීසියාව හතරවන හෝ පස්වන ආර්ථිකය බවටත්, පළමු රටවල් තිහ අතරට, මැලේසියාව, බංග්ලාදේශය, තායිලන්තය හා වියට්නාමය යන රටවල් ඇතුළත් වනු ඇති බවටත් රනිල් වික්‍රමසිංහ මහතා අනුමාන කරයි. 

ලංකාවේ අපි මින් ප්‍රයෝජනයක් ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි. 

ලංකාව ඉන්දීය උපමහාද්වීපයේ කෙළවරේ පිහිටා තිබේ. තෙළගානා, ආන්ද්‍රා, තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව ආර්ථික කොරිඩෝවක් බවට පත් වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි. 

ලංකාවේ වරාය, ඉන්දීය උපමහාද්වීපයේ දකුණු ප්‍රදේශය සමග සම්බන්ධ බව පවසන හිටපු ජනාධිපතිවරයා, එය වේගයෙන් දියුණු වෙමින් පවතින ආර්ථික කලාපයක් බවද අවධාරණය කරයි.

ඇගළුම් අපනයනයෙන් ඔබ්බට ගොස්, කලාපීය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් වීමේ හැකියාව ලංකාවට තිබෙන අතර, ඒ සදහා ගොඩබිම ඔස්සේ රටවල් දෙක සම්බන්ධ විය යුතු බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *