මගීන් 60ක් සමග දැඩි බෑවුම් සහිත මඟක බීමතින් බසයක් පැදෙව්වැයි රියැදුරා අත්අඩංගුවට

අධික ලෙස බීමත්ව මගීන් 60ක් රැගෙන නාවලපිටිය සිට තිස්පනේ දක්වා බස් රථයක් ධාවනය කරමින් සිටි ලංගම රියැදුරකු නාවලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (31) රාත්‍රී 7.15ට පමණ නාවලපිටියෙන් ගමන් අරඹා ඇති මෙම බස් රථයේ රියැදුරා අධික ලෙස බීමත්ව සිටින බවට ලද තොරතුරකට අනුව කළ සොයා බැලීමකදී මෙම රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. කඩියල්ලන, කැටඹුලාව හරහා තිස්පනේ මාර්ගයේ ගමන් කරන මෙම බස් රථය දැඩි බෑවුම් හා කෙටි වංගු සහිත ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කරයි. අනතුරුව රියදුරු බස් රථය රැගෙන වර්ෂාව සමඟ ලිස්සන සුළු මෙම මාර්ගයේ ගමන් අරඹා ඇති අතර මෙම අනතුරුදායක බව දැනුණු අයකු මේ පිළිබඳ මෙසේ පොලීසිය වෙත දන්වා තිබේ.

රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගත් රියදුරු මත්පැන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය ප්‍රසන්න හේරත් මහතා වෙත ද යොමු කර ඇති අතර එහි දී සනාථ වී ඇත්තේ මොහු මත්පැන් පානය කර ඇති බවය. නාවලපිටිය හරංගල ප්‍රදේශයේ පදිංචි මෙම රියදුරු මෙයට පෙරද බීමත්ව රිය ධාවනය කර ඇති බවට ලද තොරතුරු හා ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග විමසීමට නාවලපිටිය ඩිපෝ අධිකාරිවරයා වෙත දුරකතන මාර්ගයෙන් ඇමතුවද ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *