ශ්‍රී ලංකාව වසර 2022 මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පාලකයන්ගේ සහ ජනතාවගේ දැඩි කැපවීම මත සිදු කළ ප්‍රතිසංස්කරණවලට හැකි වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ටකාෆුමි කඩෝනෝ මහතා කොළඹ පැවති සෙරන්ඩිපිටි දැනුම සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ආර්ථික පරිවර්තනය සඳහා නවෝත්පාදන තේමා කොටගත් සම්මන්ත්‍රණය අමතමින් ටකාෆුමි කඩෝනෝ මහතා මෙසේ ද කීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් සහ යථා තත්ත්වයට පත්වෙමින් පවතින විට මෙම අපේක්ෂාවන් ඉටු කිරීමට සහ නව, ඔරොත්තු දෙන ආර්ථික මාර්ගයක් සකස් කිරීමට රජය ආර්ථිකය පුරා ගැඹුරු සහ පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙනවා.
එසේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) රජයට හවුල්කරුවකු ලෙස කටයුතු කරන අතර රටේ මානව සහ භෞතික සම්පත්වල පවතින විභවතාවන් භාවිත කොටගෙන නැඟී සිටීමට දොරගුළු, අගුළු විවෘත කිරීමට නිර්මාණාත්මකව, සාම්ප්‍රදායික නොවන ක්‍රම ගවේෂණය සිදු කිරීමට කටයුතු කරමින් සහාය දක්වනවා.
අපගේම උපායමාර්ගය වන ADB උපායමාර්ගය 2030, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවලට සහාය දැක්වීමේදී, රට කේන්ද්‍ර කර ගත් ප්රවේශයන් ගැන කතා කිරීමට කැමැතියි. අපි ශ්‍රී ලංකාවට උපායමාර්ගික ලෙස සහාය දැක්වීමට සූදානම්. මෙයට නව්‍ය තාක්ෂණයන් භාවිත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ විවිධ අංශ සහ කණ්ඩායම් හරහා සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා එම විශේෂඥතාවන් ලබා දීමට ඒකාබද්ධව කටයුතු කිරීමට ක්‍රියා කරනවා. වසර 2024 සිට 2028 දක්වා වසර 5ක් ආවරණය වන ශ්‍රී ලංකාව සඳහා අපගේ රට හවුල්කාරිත්ව උපායමාර්ගය, ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා අපගේ One-ADB ප්‍රවේශය හරහා දැනුම පදනම් කරගත් නව්‍ය, පරිපූර්ණ සහ ඒකාබද්ධ විසඳුම් අවධාරණය කළ බව ද ඔහු කීය.