ජූනි 26 වන දා සිට රාජිත ගෙදර නෑ, දවස් 15 ක් එකත් වැඩ නෑ – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

කිරින්ද වරායේ වැලි කැනීමේ කොන්තරාත්තුවක් කොරියානු සමාගමකට ලබා දීම හරහා රජයට රුපියල් කෝටි දෙකක වඩා වැඩි මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර තිබෙන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, පසුගිය ජූනි විසි හය වන දා සිට පදිංචි නිවස හැරගොස් ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසම මේ බව අධිකරණයට වාර්තා කර තිබෙන්නේ, සැකකාර රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයට මෝසක් ඉදිරිපත් කරමිනි.

ප්‍රකාශයක් ලබා දීම සදහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට දැනුම් දී තිබුනද, ඔහු දිගින් දිගටම කොමිසම මග හරිමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.

එසේම, දින පහළොවක් තිස්සේ ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර ඇති බව අල්ලස් කොමිසම පවසයි.

කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙම නඩුවේ සැකකරුවෙකු- නම්, ඔහු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදු බාධාවක් නැති බව අධිකරණය එම කොමිසමට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *