මෙතෙක් ලිපිනයක් රහිතව සිටි වතු කම්කරුවන් පිරිසක් සඳහා ස්ථීර ලිපින ලබා දීමට රජය කටයුතු කර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
තමන් ඇතුළු වතු කම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල, මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව දැනුම් දුන්නාය.
පෙත්සම්කරු විසින් ගොනු කළ මෝසමකට අනුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කර සිටියේ වතු කම්කරු ජනතාව සඳහා ස්ථිර ලිපින ලබාදීමට වගඋත්තරකරුවන් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකර ගන්නා ලද එකඟතාවකට අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කරන ලද බවය.
එහෙත් වතු කම්කරුවන් කොටසකට හැර සෙසු අයට ස්ථිර ලිපින ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව හෝ බලධාරීන් මේ වනතෙක් කටයුතු කර නොමැති බවට ඔහු සඳහන් කළේය.
මෙම පෙත්සම තමන්ට ලිපිනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පමණක් නොව සියලුම වතු කම්කරුවන්ටත් ස්ථීර ලිපිනයක් ලබාගැනීම සඳහා මහජනතාවටත් වැදගත් නඩු කටයුත්තක් ලෙස ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා එහිදී සඳහන් කළේය.
එම කරුණ අධිකරණය අවධානයට යොමු කිරීම සඳහා මෙම මෝසම ගොනු කළ බවට නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ පෙත්සම්කරු පදිංචිව සිටින Òමුවන් කන්දÓ වතුයායේ පදිංචිකරුවන් සඳහා තැපැල් ලිපින ලබා දීමට මේ වන විටත් කටයුතු කර ඇති බවය.
සෙසු පිරිසට ලිපින ලබාදීම සම්බන්ධව බලධාරීන්ගෙන් උපදෙස් ලබාගත යුතු බව ද ඇය සඳහන් කළාය.
එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරු තමන්ට ස්ථිර ලිපිනයක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම මඟින් කර ඇති ඉල්ලීම මේ වන විට ඉටු කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව ය.
එහෙත් සමස්ත වතුකර ප්‍රජාවට ස්ථිර ලිපිනයන් ලබාදීම සඳහා පෙත්සම්කරු තනි පුද්ගලයකු ලෙස කරන ඉල්ලීම පිළිගත නොහැකි බව ද එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය. ඒ අනුව පෙත්සම්කරුට ලිපිනයක් ලැබී ඇති බැවින් මෙම මෝසම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. වතු කම්කරුවකු වන මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් මෙහි පෙත්සම්කරු වේ.
රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැවිලි කර්මාන්ත ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, නීතිපති ඇතුළු 18 දෙනකු පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති. වර්තමානය වන විට දිවයින පුරා වතු කම්කරු පවුල් 244,500ක් සහ ඊට අයත් 966,700ක පිරිසක් සිටින අතර ඔවුන්ට ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින නොමැති නිසා විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත.
මෙරටට විදේශ විනිමය උත්පාදනය කරන පිරිස් අතර වතු කම්කරුවන් ප්‍රමුඛත්වයක් දරන අතර 2021 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද 2022 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද මෙරටට ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ ජීවත් වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම පුරවැසියකු සතු අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණ ද වතු කම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමිව ඇතැයි පෙත්සම මඟින් පෙන්වාදී ඇත.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු වතු 277ක වතු කම්කරුවන් ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන අතර
තමා පදිංචිව සිටින මුවන් කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත් වන බව ද පෙන්වා දෙන පෙත්සම්කරු ඔවුන් කිසිවකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බව සඳහන් කරයි.
මේ නිසා ඡන්දය ලියාපදිංචි කිරීම, විභාග සඳහා ලියාපදිංචි වීම, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම වැනි කටයුතුවලදී විශාල අපහසුතාවට ලක් වීමට ඔවුන්ට සිදු වන බව එහි දැක්වේ.
එසේම සමෘද්ධි ඇතුළු සුභසාධක දීමනා ලබාගැනීමේදී මෙන්ම, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ද දුෂ්කරතාවලට ලක්වීමට ඔවුන්ට සිදු වන බව පෙත්සම්කරු කියයි.
ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති වීම නිසා වතු කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.