මහා මාර්ගයේ සිදු කරන වැරදිවලදී අධිකරණය විසින් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන රියැදුරන් ලබන වසරේ සිට පුහුණු පාඨමාලාවකට යොමු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.
කොමසාරිස්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ, රිය පැදවීම අත්හිටවූ කාලය අවසන්වී පුහුණු පාඨමාලාවත් අවසන් කළ රියැදුරන්ට අධිකරණය මගින් රිය බලපත්‍රය ලබා දීමට කටයුතු කරන බව ය.
මහා මාර්ගයේ වැරදි සිදු කරන රියැදුරන් සඳහා පාඨමාලාවක් හදුන්වා දීමට පනතේ බලතල තිබුණත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ සඳහා වන පාඨමාලාව සකස් කරමින් පවතින බවත් ඔහු පැවසීය.
එය අමාත්‍යාංශය ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර 2026 වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, මහා මාර්ගයේ වැරදි කරන රියැදුරන් අසාදු ලේඛනගත කිරීමේ ක්‍රමය තුළින් හා පුහුණු පාඨමාලාව තුළින් විනයගරුක රියැදුරෙකු ඇතිකිරීම මෙහි මූලික අරමුණ වන බව ය.