ආචාර්ය නන්දා මාලනියගේ නමින් ගුවන් විදුලි සංස්ථාවේ 09වන මැදිරිය නම් කරයි

ආචාර්ය නන්දා මාලනී මහත්මිය මෙරට ගීත ක්‍ෂේත්‍රයට සිදුකරන ලද අනුපමේය මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක්  ඇයගේ නමින් නම් කිරීම අද (22) සිදු කෙරුණා.

ගුවන් විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය මෙලෙස ආචාර්ය නන්දා මාලනි මැදිරිය නමින් නම් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ , ප්‍රේමය , විරහව වැනි සුලබ මාතෘකාවලට පමණක් සීමා නොවී රටට අත්විඳින්නට සිදුවූ මර්දනය ,  භීෂණය සහ සමාජ අසාධාරණයට නොබියව තම ගීත හඩ අවදි කිරීමට නන්දා මාලනිය  නිර්භීත වූ බවයි.  ඇය  වෙනුවෙන් ජාතික ගුවන් විදුලියේ මැදිරියක් නම් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවද අවධාරණය කළාය.

තම සංගීත දිවියේ තිඹිරි ගෙය ගුවන්විදුලි සංස්ථාව බව ආචාර්ය නන්දා මාලනී මහත්මිය එහිදී පැවසු අතර   එදා සිටි දැවැන්ත චරිත සමඟ සමීප වීමට අවස්ථාව උදා වූයේ ද ගුවන් විදුලි සංස්ථාව නිසා බවද ඇය එහිදී කියා සිටියාය. 

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා , ආචාර්ය නන්දා මාලනී මහත්මිය කලා කෙතේ ඔබ්බට ගිය කලාකාරිණියක් බව සඳහන් කළ අතර  ඇය ලක්දිව අසමසම තැනැත්තියක් බවත් එහෙත් ඇයට  ගුවන් විදුලිය තහනම් වූ කාලයක් පැවති බවත්  ඒ පිළිබඳව  ජාතික ගුවන් විදුලිය සභාපතිවරයා ලෙස තමා සමාව අයැද සිටින බවත් එවැනි යුගයක් ඉදිරියේ දී යලි ඇති නොවනු ඇති බවත් පැවසීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන අමාත්‍යවරු ,  නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර  , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තාරකා මේධාවි දිසානායක , යන මහත්ම මහත්මීහු , කලාකරුවෝ ඇතුළු පිරිසක්   ඊට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *