අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්ව වසරක් ගතවන අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඍජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 1000ක් මෙරටට ලැබී ඇති බවත් එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් කළ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතයට අදාළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
අද අපි මේ අත්සන් කරන ගිවිසුමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් තියෙන්න ඕන. ඒක අපට ලැබෙනවා. මෙවැනි ගිවිසුම් 12ක් පමණ පසුගිය ආණ්ඩු යටතේ අත්සන් කර තිබෙනවා. එය හොඳ දෙයක්. සැප්තැම්බර්වලට අනුර සහෝදරයා ජනාධිපතිවරයා වෙලා වසරක් ගත වෙනවා. එක්සත් එමීර් රාජ්‍ය සමඟ මේ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරනවා. ඩොලර් මිලියන 1000ක ඍජු විදේශ ආයෝජන මෙරටට ලැබී තිබෙනවා. වසරක් තුළදී එය සිදු වුණා. බිඳ වැටුණු රටකට තමයි අපි මේ ආයෝජන ගෙනාවේ. දක්ෂතාව, කාර්යක්ෂමතාව, අදූෂිතභාවය යනා දී කාරණා නිසා තමයි මේ ආයෝජන ගෙන ඒමට හැකි වුණේ. කුහක අයට මේ කාරණාව පිළිගන්න බැරි වුණාට සත්‍ය කාරණාව එය වෙනවා. අපි ආයෝජකයන් මුණගැහෙනවා. එහිදී ඔවුන් කියන්නේ ඉස්සරට වඩා දැන් ලංකාවත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. රටේ දේශපාලන මර්දනයෙන් තොර ඡන්ද දූෂණවලින් තොර ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා.
ඒ නිසා ලංකාවට ලෝකයේ ප්‍රධානීන් පැමිණ රට ගැන හොඳ කියනවා. දැනුත් විපක්ෂය අමු ජාතිවාදයක් ඇති කරන්න කටයුතු කරනවා. එහෙම තිබියදීත් අපි ජාතිවාදී නොවන ලෙස රට තුළ සංහිඳියාවට කටයුතු කරනවා.
නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේදී. රාජ්‍යයට විරුද්ධව රාජ්‍ය තුළ අපි අරගලයක් කරනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. කුඩු මුදලාලි මෙතන කියන්නේ මොකද්ද. අපරාධකරුවන් කියලා අල්ලාගෙන ආපු අය අපරාධකරුවන් කියලා පිළිගත්තත් නොගත්තත් ඒක විතරයි. නමුත් මේ විපක්ෂයේ දේශපාලකයන් කරන දේ මොනවාද. ජාතික ජන බලවේගයට ගහන්න තමයි විපක්ෂයට ඕන වෙලා තිබෙන්නේ. ඒ නිසා සජබය පොහොට්ටුවත් එක්ක හිට ගන්නවා. සජබය දැන් ඉන්නේ නාමල්ලා එක්ක. රනිල් එක්ක. අයිස්කාරයොත් එක්ක තමයි සජබය ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියලා තමයි සජබය එන්නේ. කුඩු, අයිස්, පාතාලය පවත්වාගෙන යෑමට අමතරව ඒ ප්රශ්නය ආණ්ඩුවට එල්ල කරනවා. දේශපාලනයේ අවම සදාචාරයක් තියෙන්න ඕන. නිදහස් පලස්තීනයක් ඇති වෙන්න ඕන. එය අපි පිළිගන්නවා” යැයිද හෙතෙම කීවේය.